(අංජුල මහික වීරරත්න)

ගම්පහ බියගම මහ රෝහල සහ ළමා රෝහල ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාවන් සඳහා වන ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් එම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ප්‍රවේශයක් යටතේ මහ රෝහලක් සහ සියලුම නවීන පහසුකම් සහිත ළමා රෝහලක් ස්ථාපිත කිරීමටත් චෝදිත රෝහල් පද්ධතිය ඉදිකිරීම සඳහා බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම ඉල්ලගහවත්ත සහ දෙල්ගහවත්ත යන ඉඩම් කොටස් දෙක රජයේ තක්සේරු වටිනාකම මත පවරා ගැනීමටත් මීට පෙර කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.

යෝජිත රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට Sontell Group Hong Kong International Limited විසින් කැමැත්ත පළ කරමින් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජය කියයි.

ඒ අනුව එම රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම පිණිස එකේ ආයතනය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළේය.