( රංජිත් රාජපක්ෂ  )

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද (15) උදැසන එල්ල වු බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

පාසල අසල පිහිටි විශාල ගසක බැද තිබෙන බඹර කුඩුවක බඹරුන් ඇවිස්සි  පාසලට පැමිණෙමින් සිටි ළමුන්ට බඹරුන්  ඇන ඇති බව පොලීසිය සඳහන් කළේය.

බඹරු ඇනීමෙන් තුවාල ලබා ඇත්තේ එම පාසලේ 6 සිට 11 දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ය.

බඹර ප්‍රහාරය එල්ල විමත් සමග තුවාල ලැබු එම පාසලේ සිසු සිසුවියන්ව රෝහල වෙත යොමු කර හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් පරිදි පාසල අද (15) තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව එම විදුහලේ විදුහල්පතිවරයා පැවසිය.

රෝහල්ගත කල ළමුන්ගෙන් පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර , බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සෙසු සිසු සිසුවියන් දික්ඔය මුලික රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.