
(චමින්ද වැවතැන්න)
කෑගල්ල අලපලාවල නිලපලාගම්මන ප්‍රදේශයේ තරුණියකට බාප්පා මන්නයකින් වම් අත සම්පූර්ණයෙන්ම වෙන් වන සේ කොටා තිබියදී කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් අත සාර්ථකව බද්ධ කළේය.
මෙලෙස අත බද්ධ කර ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ අලපලාවල නිලපලාගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටින පොල්ගහවෙල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රැකියාවක් කරන 21 හැවිරිදි අවිවාහක තරුණියකගේ බව වෛද්‍යවරයා පැවසීය.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණියගේ පියා හා බාප්පා අතර කාලයක සිට ඉඩම් ආරවුලක් තිබී ඇති අතර පෙරේදා (04) රාත්‍රී 7 ට පමණ දෙපාර්ශවය අතර ගැටුමක් හට ගෙන තිබිණි.
එම අවස්ථාවේදී තුවාලකාරිය වැඩ නිම වී නිවසට පැමිණෙමින් සිටින අවස්ථාවේදී ගැටුම පැවැති දෙපාර්ශවය සමථයට පත් කිරීමට මැදිහත් වී තිබේ.
එහිදී බාප්පා විසින් එල්ල කරන ලද මන්නා පහරකින් තරුණියගේ වම් අතේ වැලමිටෙන් පහළ කොටසට වැදී අත වෙන් වී බිමට වැටී ඇත.
වෙන්ව තිබුණු අත අසල්වැසියන් විසින් පොලිතින් උරයකට බහා අයිස් කැට ද යොදා ක්ෂණිකව තුවාලකාරිය සමඟ කෑගල්ල මහ රෝහලට රැගෙන ගොස් තිබේ.
කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් රාත්‍රී 9 සිට ඊයේ (05) අලුයම 1 දක්වා පැය හතරකට ආසන්න කාලයකින් සාර්ථක සැත්කමකින් පසුව අත පෙර තිබූ ලෙසට බද්ධ කර ඇත.
තුවාලකාරියට කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සත්කම සම්බන්ධයෙන් මෙසේ ද පැවසීය.
මෙවැනි රෝගියෙක් අපට ලැබුණු ගමන් කරුණු දෙකක් ගැන සිතා බලන්න සිද්ධ වෙනවා. පළමු එක රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. දෙවැනි එක අවයව බේරා ගැනීම. රෝගියා රෝහලට අරන් එන කොට විශාල වශයෙන් රුධිරය පිටතට ගිහිල්ලා තිබුණා. පළමුව ජීවිතය බේරා ගැනීමට රුධිරය දීමට සිදු වුණා. එහිදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වුණා.
දෙවැනියට වෙන්ව ගෙනත් තිබුණු අත පරීක්ෂා කර බැලීමට සිදු වුණා. එහිදී කැපී වෙන්ව තිබුණු අත යලි සාර්ථකව බද්ධ කිරීමේ අභියෝගය මා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය භාර ගත්තා. ඒ සඳහා පැය හතරකට ආසන්න කාලයක් ගත වුණා. මෙහිදී සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලය දුන් සහයෝගය අගය කරනවා. දැනට රෝගියා සාමාන්‍ය පරිදි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා යැයිද කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහිපිට දෙවිවරු දැකල නැත්නම් ඔන්න බලාගන්න. අපි කවුරු කවුරුත් වන්දනා මාන කලයුත්තේ මේවගේ දෙවිවරුන්ටයි. රටටත් වැඩක් නැති ගමටත් වැඩක්ම නැති මැටි රුප වලට නෙවේ.
ඇත්තටම කෑගල්ල දිස්ත්‍රික්කයේ මිනිසුන්ට මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා හිතන්න අමාරුයි මෙතන තියෙනවා බාප්පා වෙන්කල අත රෝහලෙන් හයිකරයි කියලා තවත් තැනක තියෙනවා අවුරුදු 73 ක් වයසේ පසුවන ධනවත් මවක් දූලා ගත් මුදල් සදහා පොලී මුදල් ඉල්ලා දෙයියන්ට විසිදාහක් පුදයි කියලා අනේ මෙහෙම මෝඩයෝ ඇතිවෙන්නෙ මොන හේතුවක් නිසාද කියලා තේරුම් ගන්න බැහැ
මේ දෙවිවරු අපගේ පිනට උපන් අය ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා
ඉතාමත් අගේ කලයුතුයි සමහර දොස්තරවරැ රටහැරයනවා වැඩි පඩිවලට
මිහිපිට දෙවිවරු