(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර රැඳවියන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, බන්ධනාගාර 33ටම අදාළව බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඉදිරි සතියේදී ස්ථාපිත කිරීමට නියමිත අතර ඔවුන් බන්ධනාගාර රැඳවියන් සමගද තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.

බන්ධනාගාර වල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

මෙරට බන්ධනාගාර 33හිම රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්ම මහත්මීන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.