(එෆ්.අස්ලම්)

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය තීරණය කර තිබේ.

ටෙලෝ සංවිධානයේ  ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීතවයෙන් පැවති තීරණාත්මක සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති අතර මීට එම සංවිධානය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් දෙදෙනාම එකගතාව පලකර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු මුදා හැරීම සඳහා යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවන් රැසක් එල්ල වීම මත රිෂාඩ් බදියුදීන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බව ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ලංකාදීප,යට පැවසීය.අමත්‍යවරයා ධූරයේ සිටියෙදී  ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බලපෑමක් සිදුවෙන බවත් මෙකී විමර්ශන අපක්ෂපාතීව  සාධාරණව සිදුකිරීමට නම් ඔහු ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් හෙතෙම කීය.

ටෙලෝ සංවිධානයේ මෙම ස්ථාවරය දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය වෙත දැනුම් දෙන බවත් සන්ධානය කුමන තීරණයක් ගත්තත් සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය. 

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාට අමතරව කවීන්ද්‍රන් කෝඩීස්වරන් මන්ත්‍රීවරයාද ටෙලෝ සංවිධානය නියෝජනය කර සිටීයි