(සුජිත් හේවාජුලිගේ )

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සත්ව ආහාර සඳහා   බඩ ඉරිඟු ආනයනය කිරීම ඩොලර් හිඟය නිසා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ.

මේ ආහාර ප්‍රශ්නය නිසා ගවයන්ට    බඩ ඉරිඟු වෙනුවට බඩඉරිඟු ගස් ලබාදීමට  පියවර ගෙන ඇතැයි  එම මණ්ඩලය පවසයි.

පොහොර හිඟය නිසා බොහෝ ප්‍රදේශවල බඩ ඉරිඟු  වගාවන් විනාශවී ගොස් ඇති හෙයින්  ඒ විනාශ වුණු ගස් කිලෝව  රුපියල් හත අට  මිල ගණන්වලට මිලදී ගෙන ගවයන්ට මෙසේ ලබාදෙන බව  එම මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 1500 ක් මිලදී ගැනීමට රජයේ අවසර දී ඇතත් ඒවා මිලදී ගැනීමට මෙතෙක් ඩොලර් ලැබී නැතැයි පවසන එම ප්‍රකාශකයා ඩොලර්  ලබා දෙන්නැයි  රජයෙන් ඉල්ලීමක් කර ඇති බවද  ප්‍රකාශ කළේය.

සත්ව ආහාර හිඟය නිසා  ජාතික පශු සම්පත් මණ්ඩලය සතු එළ ගවයන්ගේ කිරි නිෂ්පාදනය සියයට 10ත්  20 ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි
එම මණ්ඩලය සඳහන් කරයි.

සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතත්  තවමත් එම කටයුතු අවසන් අදියරට පැමිණ නැතැයි  දැනගන්නට  ඇත .

මේ සම්බන්ධයෙන් අප ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මංජුල සුමිත් මාගමගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ  සතුන්ගේ ආහාර සඳහා ලබාදීමට ප්‍රමාණවත් බඩ ඉරිගු සංචිතයක්  මණ්ඩලය සතුව නැති බවයි.

මේ තත්වය නිසා  වෙනත් ආහාර සමඟ බඩඉරිඟු සුළු ප්‍රමාණ වශයෙන් මිශ්‍රකර ලබාදීමට පියවර ගෙන ඇතැයිද  හෙතෙම සඳහන් කළේ‍ය.

එළ ගවයන්ගේ කිරි නිෂ්පාදනය යම් ප්‍රමාණයකින් අඩුවී ඇතත් මී ගවයන්ගේ කිරි නිෂ්පාදනය මේ වසරේ සියයට 10 කින් පමණ වැඩිවී ඇති බව   මංජුල සුමිත් මාගමගේ මහතා  වැඩිදුරටත් පැවැසීය.