ජකර්තානුවර ආසන්න මුහුදේදී මගී බෝට්ටුවක් ගිනි ගැනීමෙන් 23 දෙනකු මියගොස් 17 දෙනකු අතුරුදන් ව ඇතැයි එරට බලධාරීහූ පවසති.

 ජකර්තා සිට තිඩුන්ග් දූපත් වෙත මගීන් 200ක් රැගෙන යමින් සිටියදී බෝට්ටුව ගිනි ගැනීමට ලක්ව ඇතැයි ඉන්දුනීසියාවේ ජාතික ආපදා ආයතනයේ ප්‍රකාශක සුටෝපෝ පූර්වෝ නුග්‍රෝහෝ පැවැසීය. තිඩුන්ග් දූපත ජකර්තා අගනුවරින් කිලෝමීටර 50 ක් ඈතින් පිහිටි සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන දූපතකි.

බෝට්ටුවේ සිටි 160 කට ආසන්න පිරිසක් මුදාගෙන ඇත. ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත. මගීන් 200 ක් බෝට්ටුවේ සිටි බව පැවැසුනද තවමත් එය  නිශ්චිත නැතැයි විදෙස් වාර්තාවල දැක්විණි. බෝට්ටුවේ මගීන් කොපමණ සිටියේද යන්න තීරණය කිරීම සඳහා බෝට්ටුවේ නැව් තොරතුරු ලේඛනය පරීක්ෂා කරන බව ඉන්දුනීසියා ප්‍රවාහන අමාත්‍යාංශය උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
අතුරුදන් වූවන් සෙවීම සඳහා මේ වනවිටත් මුදා ගැනීමේ කණ්ඩායම් යොදා තිබේ.

ඉන්දුනීසියාව දූපත් සමූහය දූපත් 17,000 කින් සමන්විත වන අතර ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වන්නේ බෝට්ටු සේවයයි. එසේ වුවද ආරක්ෂිත පියවර ප්‍රමාණවත් නොවන බවත් නිරන්තරයෙන් මාරාන්තික අනතුරු සිදුවන බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ආරම්භයේ දී මගීන් 98 දෙනකු රැගෙන ගිය අධිවේගී යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් 54 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහි සිටි බොහෝ පිරිසක් ඉන්දුනීසියානු සංක්‍රමණික සේවකයෝ වූහ.
 
(ඒ.එෆ්.පී ඇසුරිනි)