( බිඟුන් මේනක ගමගේ)
 
නැගෙනහිර පළාතේ පුනානිහි ඉදිවෙමින් පවතින ආන්දෝලනයට තුඩු දී ඇති බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය තමන් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවලට ප්‍රදානය කර ඇත්තේ එකිනෙකට වෙනස් තොරතුරු යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා ආයෝජන මණ්ඩලය යන ආයතනවලට ලබා දී ඇති තොරතුරු සැසඳීමේදී එය හොඳින් පැහැදිලි වන්නේ යැයි එම නිලධාරියා කීය.
 
වෘත්තිය පුහුණු අමාත්‍යංශයෙන් තොරතුරු තාක්ෂණය ඇතුලු විෂය පහකට පමණක් අවසර ගෙන ඇතත් එම සීමා උල්ලංඝනය කරමින් වෙනත් විෂය ගණනාවක් ගැන සිය වෙබ් අඩවිය මගින් ප්‍රචාරණයෙහි නිරත වී ඇතැයි ද එම නිලධාරියා කීය.
 
විශ්වද්‍යාලයක් පිහිටුවීමේ ආරම්භක අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යංශය විරෝධතා නැත යන පදනමින් ප්‍රතිචාර දක්වා ඇතත් එය විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට දෙන අවසරයක් නොවන්නේ යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ආන්දෝලනයට තුඩු දී ඇති බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඞ් ආයතනය ෂරියා නීතිය උගැන්වීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් එය ජනසතු කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන ආයතනයක් බවට පත්කරන්නැයි දේශපාලන කණ්ඩායම් රැසක්ම මේ වනවිට රජයෙන් ඉල්ලා ඇත.