
පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය නිල වශයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඩාවෝ නගරයේදී ඉකුත් 25 වන දින විවෘත කළේය.
මෙම අවස්ථාව සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, තානාපති කාර්යාලයේ අනුයුක්ත/කොන්සුල් නිලධාරිනී චතුරි කල්පනා, මින්ඩනාඕ හි ශ්‍රී ලංකා කොන්සියුලර් විලියම් චෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී හැරල්ඩ් ඩුටර්ටේ සහ ඩාවෝ නගරයේ නගර සභා මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය හා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 65 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් වැඩසටහන්වල කොටසක් ලෙස මෙය විවෘත කිරීම සිදු විය.
මින්ඩනාඕ හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම පිලිපීන ජාතිකයින්ට කොන්සියුලර් සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ වැඩි අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරමින් ඩාවෝ නගරය මේ සඳහා තෝරා ගෙන ඇත.
මෙතෙක් බොහෝ පිරිසකට සිය කොන්සියුලර් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා බොහෝ විට දේශීය ගුවන් ගමන් මගින් මැනිලා නුවර වෙත යාමට සිදු විය.
මෙම කොන්සියුලර් කාර්යාලය පිහිටුවීම මඟින් කාලය සහ පිරිවැය ඉතිරි කර ගනිමින් අදාළ සේවාවන් ලබා ගැනීමට පහසු ප්‍රවේශයක් ලැබෙනු ඇත.
කොන්සියුලර් කාර්යභාරයට අමතරව, ඩාවෝ යනු දකුණු පිලිපීනයේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වන අතර, ශ්‍රී ලංකාව සහ මින්ඩනාඕ අතර වෙළඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහාද විශාල අවස්ථාවන් ලබා දෙයි. මෙම කොන්සියුලර් කාර්යාලය මෙම වර්ධනය වන ආර්ථික හා ජනතා සම්බන්ධතා ශක්තිමත් කරන පාලමක් ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd