(අංජුල මහික වීරරත්න)

පාලකයාට බිය වී ජීවත් වූ සමාජය වෙනුවට පාලකයා ප්‍රශ්න කරන, විවේචනය කරන සමාජයක් ගොඩ නගන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 37 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් අද (13) පැවසීය.

පරාජිත දුර්වල කණ්ඩායම් අද සැලකිය යුතු මට්ටමකින් අන්ද මන්ද බවට පත්වී තිබෙන බව කී ජනාධිපතිවරයා එවැනි අයගේ විරෝධතා රටට අහිතකර බවද සඳහන් කළේය.

කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී මෙම ඉල්මහ විරු සමරුව පැවැත්විණි. ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විරු සමරු ස්මාරකයේ පහන් දල්වමින් පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව විරු සමරුව ඇරැඹිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර දිසානායක මහතා:-

මර්දනය හමුවේ අවි ආයුධ ඔසවන්න සිදුවූ ඉතිහාසයක් අපට තිබුණා.මෙවැනි විවිධ අවස්ථාවන්ට මුහුණ දුන් දේශපාලන ව්‍යාපාරයක් ලෝකයේ නැහැ. කොහොමත් ලංකාවේ ඇත්තේ නැහැ.මොන තරම් හැරවුම් ,වෙනස්කම් ප්‍රමාණයක් අභියෝගයන්ගේ විවිධ ආකෘතින් වලට අප මුහුණ දුන්නාද?

මේ වසර 61 ඇතුළත විවිධ අභියෝග වලට අප මුහුණ දී තිබෙනවා ඒ කවර තත්ත්වයන් වෙනස් වුවත් මේ මුළු ඉතිහාසයම ගැට ගසා තිබෙන හුයක් තිබෙනවා. අපේ ව්‍යාපාරය වෙනස් නොකර ඉදිරියට ගෙනයන අරමුණු කීපයක් තිබෙනවා.88-89 යුගයේ පාලනය විසින් අපේ සහෝදරයන් උදුරගන්නේ ඒ අරමුණ නිසයි.අපේ රටට සහ ජනතාවට ඉතා හොඳ සමාජයක් ගොඩනංවාදීම එදා සිට අපේ ප්‍රධාන අරමුණක්. බලය ගන්නා විටත් අපේ අත් නොහරින අරමුණ සාධාරණ සමාජයක් ගොඩ නැගීමයි.ඒ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් අප දැනුත් පොර බදිනවා.