(මනෝප‍්‍රිය ගුණසේකර)

ක‍්‍රිෂ් ගණුදෙණු සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇපමත මුදා හැරීමට නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා දුන් නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 18 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා අද දැනුම් දුන්නේය.

ක‍්‍රිෂ් ගණුදෙණු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා දුන් නියෝගය දෝෂ සහිත බව පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එසේ දැනුම් දුන්නේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතීඥ තනූජා බණ්ඩාර මහත්මිය කරුණු දක්වමින් ක‍්‍රිෂ් ගණුදෙණුවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටි සැකකාර නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා පසුගිය 03 වැනිදා නියෝග කළ බවත් මහෙස්ත‍්‍රාත්වරයාගේ එම නියෝගය දෝෂ සගගත බවත් කීවාය.

දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය යටතේ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය සහිතව බවත් එවැනි් අවස්ථාවක සැකකරු නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඞ් භාරයට පත් කළ යුතු බවත් එය ව්‍යවස්ථාදායකයේ අරමුණ. බවත් පෙන්වා දුන් නීතීඥ තනූජා බණ්ඩාර මහත්මිය අවස්ථානුගතව සුවිශේෂී කරුණු ඇත්නම් සැකකරුට ඇප නියම කිරීමට හැකි බවට ව්‍යතිරේකයක් ඇතැයිද කීවාය.

එම ව්‍යතිරේකය මත සැකකරුට ඇප දීමට මහේස්ත‍්‍රාත්වරයා දුන් නියෝගය මේ අවස්ථාවේදී නීතියට පටහැනි බවත් සිද්ධියට අදාළව සාක්කි දීමට බියෙන් සිටි සාක්ෂිකරුවන් දෙදෙනෙකු මෙම සැකකරු රිමාන්ඞ් භාරයට පත් කිරීමෙන් පසු සාක්ෂි දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණ සත්‍ය කරුණු හෙළි කරමින් සාක්ෂි දුන් බවත් නඩුවේ සාක්ෂිකරුවකු වන නිමල් පෙරේරා නැමැත්තාට එල්ල වී ඇති ජීවිත තර්ජන නිසා ඔහු ඔස්ටේ‍්‍රලියාවේ ජීවත් වන බවත් කී නීතීඥ තනූජා බණ්ඩාර මහත්මිය සැකකරුට ඇප නියම කිරීමෙන් පසු සාක්ෂිකරුවන්ට බලපෑම් විය හැකි බවත් පෙන්වා දුන්නාය.

එම තත්වය මත සිද්ධියේ සැකකරුට ඇප නියම කරමින් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා පසුගිය 03 වැනිදා දුන් ඇප නියෝගය ප‍්‍රතිශෝධනය කරන්නැයිද එම නියෝගය ප‍්‍රතිශෝධනය කරනතුරු මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද නීතීඥ තනූජා බණ්ඩාර මහත්මිය ඉල්ලා සිටියාය.