පොළොන්නරුව රෝහලේදී එක්දරු මවක මිය ගියේ සූකර උණ හෙවත් ඒ(එච්1එන්1) උණෙන් හෝ කුරුළු උණ හෙවත් ඒ (එච්5එන්1) උණෙන් යැයි පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය කියන්නීය.

දැනට ඇති තොරතුරු අනුව ඇය මිය යන්නට ඇතැයි සිතනුයේ ඉන්ෆ්ලුවන්සා ‘ඒ‘ රෝගයෙන් බව ඇය පවසන්නීය.

මෙම රෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් බවත්, එය මිනිසාගෙන් මිනිසාට බෝවන බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය. ‘ඒ‘ හා ‘බී‘ ලෙස ඉන්ෆ්ලුවන්සා රෝගයේ උප විශේෂ දෙකක් ඇති බවද මිය ගිය කාන්තාවට ‘ඒ‘ විශේෂයේ රෝගය තිබෙන බව සොයගෙන ඇති බව ද ඇය කීවාය. මෙම රෝගය කැස්සෙන් හා කිවිසුමෙන් නිරෝගී අයකුට බෝවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

මෙම රෝගය වැළඳී ඇතැයි සැක කරනවා නම් මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින ලෙසත්  කැස්සකදී හෝ කිවිසුමකදී ලේන්සුවක් හෝ ටිෂු කඩදාසියක් භාවිත කරන ලෙසත්  විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය රෝගීන්ගෙන් ඉල්ලන්නීය.

උගුර රිදීම, කැස්ස, උණ, හිසරදය, ඇඟ පත අමාරුව, නාසයෙන් සොටු දියර ගැලීම, කිවිසුම් යාම,වමනය හා පාචනය මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ.

රෝගී තත්ත්වය උත්සන්න වූ විට හුස්ම ගැනීමේ අපහසුතාව, සිහිය අඩු වීම, තද උණ ඇතිවිය හැකියි. ගර්භිණි කාන්තාවන්ට මෙය වැළඳීමේ ප්‍රවණාතවය වැඩි අතර වයස අවුරුදු 2කට අඩු දරුවන්ට,වයස අවුරුදු 65 ට වැඩි අයට,වකුගඩු හා පිළිකා රෝගීන්ට ද මෙම රෝගය ඉක්මනින් වැළඳීය හැක. මෙම රෝගය උත්සන්න වුවහොත් නියුමෝනියාවද වැළඳිය හැකි බව වෛද්‍යවරු කියති.