(ඩයනා උදයංගනී)

පළාත් පාලන බල ප්‍රදේශවල ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සදහා මාර්ගගත (online ) ක්‍රමයක් හදුන්වාදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 337 ක මෙම ක්‍රමය හදුන්වා දෙන බවත්, ඉදිරි මාස දෙක තුළ එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (29) පැවති සාකච්ඡාවක් අමතමිනි. සැලසුම් අනුමත කිරීමේදී පළාත් පාලන ආයතන මට්ටමින් පවතින ගැටළු විසඳා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ගොඩනැඟිලි ඉදිකිරීමට අනුමැතිය ලබාගැනීමේදී වර්ග අඩි 9000 ට අඩු ඉඩම් සදහා අනුමැතිය ලබාදීම අදාළ පළාත් පාලන ආයතනයට පැවරෙන අතර, ඉඩම වර්ග අඩි 9000 ට වැඩි නම් හෝ ගොඩනැගිල්ල තට්ටු 5ට වැඩි නම් ඊට අනුමැතිය ලබා දීමේ වගකීම ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටය.

පළාත් පාලන ආයතනවල සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අනුමත කරවා ගැනීමේදී විවිධ ප්‍රමාදයන් සිදුවන බවට පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙහිදී සදහන් කළ අතර, ඇතැම් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලටම ලිපි ගොණු ගෙන්වාගැනීමට කටයුතු කරන බවත්, පළාත් පාලන ආයතනවල සැළසුම් අනුමත කිරීමේ කමිටුවට ද එම නිලධාරීන් සහභාගී නොවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එවැනි නිලධාරීන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් අතර, නාගරික සංවර්ධන අධිකාරයේ නිලධාරීන් සැලසුම් කමිටුවට සහභාගීවීම අනිවාර්ය කිරීමටද තීරණය කෙරිණි.