ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ලොක්කකු කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලිසියෙන් හා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් කියයි.

පසුගිය සෙනසුරාදා සිසුන් දෙදෙනෙකු අතර වු බහින් බස් වීමක් සම්බන්ධයෙන් එම හිටපු හමුදා ලොක්කා ගිය බදාදා පාසලට පැමිණ සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා ගත් බව කියති.

එම සිසුවා එදින සවස සාමන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට සිටි අතර ගුරුවරියක පැමිණ සිසුවා බේරාගෙන තිබේ.

හමුදා ලොක්කාට ඇති බය නිසා සිසුවා පොලිසියට පැමිණිලි කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි.

සිසුවාට සාමන්‍ය පෙළ විභාගය අවසන් වීමට ඇත්තේ හෙට (17)  දිනයේදීය.

කෙසේ වෙතත් එම හමුදා නිලධාරියාගේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස තුන්වන පාර්ශවයක් ලෙස ජනමාධ්‍යවේදීන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

මෙම සිද්ධියට තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවත් තමා කිසිම සිසුවකුට පහර නොදුන් බවත් එම සිදුවීම වූ බව කියන දිනයේ තමා මෙරට නොසිටි බවත් එම සිදුවීම සම්බන්ධයෙන් තමාට එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කියයි.

තම බිරියගේ නැගණියගේ පුත්‍රයකු කොළඹ පාසලකදී කප්පම් ගන්නා සිසු කල්ලියක මැර ප්‍රහාරයකට ලක්ව මොළයේ ස්කෑන් පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලකදී කර ඇති බව තමා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දැනගත් බවත් ඇතැම් වෙබ් අඩවි, ගුරු සංගම් හා පුවත්පත් ද්වේශයෙන් තමාට පහරදෙන බවත් තම හෘද සාක්කිය ඉතාම පිරිසිදු බවත් මේජර් ජනරාල් පවසයි.

‘මට කනගාටුව මා ගැන නොසොයා නොබලා එවැනි පුවතක් පළ කිරීමයි. මගේ හමුදා ජීවිතය වසර 35ක්. මා යටතේ සිටි එකම සෙබළකුටවත් පහර දීමක් හෝ අසභ්‍ය වචනයෙන් බැන වැදීමක් සිදුවී යැයි ඔප්පු කරන ලෙස මා මට මඩ ගහන අයට කියනවා. මා එතෙර ගොස් පැමිණි පසු දවසක් මගේ බිරියගේ නැගණිය හමුවුණා. තම පුතාට සිදුවූ මැර ප්‍රහාරය ගැන ඔවුන් මට කීවා. මා දන්නේ එපමණයි. මෙම චෝදනා නගන පුද්ගලයාට රුසියාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ නමක් තිබීම එවැනි උතුමන්ට කරන අපහාසයක්. මේ පාසලේ කප්පම් ගන්න සිසු කල්ලි ඉන්නවා. ඒ අයට විරුද්ධව කතා නොකරන මෙවැන්නන් මට විරුද්ධව නගන චෝදනා ගණන් ගන්නේ නෑ‘

තම ඥාති පුත්‍රයාට පාසලේදී සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම නැගණිය ඔහු සමග ගොස් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කළ බවද කී මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ තමා පහරදුන් බව කියන සිසුවකු සිටීනම් ඔහු කවුදැයි පෙන්වන ලෙසත් එවැනි අයකු රෝහල්ගතව ප්‍රතිකාර ගත් බවටවත් කිසිදු සාක්කියක් නැති බවත්ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පවසනුයේ හමුදාවේ හිටපු ප්‍රධානියකු පාසල් සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධියක් ගැන කිසිදු පැමිණිල්ලක් නොමැති බවයි.