(මුදිතා දයානන්ද)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට නීතිය හා යුක්තිය පසිඳලන ලෙස ඉල්ලමින් එම ප්‍රහාරයට වසර 4 ක් සපිරෙන අප්‍රේල් 21 වැනිදා කොළඹ මීගමු මාර්ගයේ ශක්තිමත් ජන පවුරක් ගොඩනගන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

කාදිනල් තුමන් මේ බව සඳහන් කළේ බිෂොප් මන්දිරයේ දී  ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

මෙම ජන පවුර එදින පෙරවරු 8.30 සිට පෙරවරු 9 දක්වා පැය භාගයක කාලයක් කොළඹ මීගමු මාර්ගයේ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනි දේවස්ථානය දක්වා ගොඩනගන බවද අගරදගුරුතුමෝ පැවැසූහ.

එහිදී පාස්කුදා ප්‍රහාරය පළමු බෝම්බ ප්‍රහාරය සිදුවූ පෙරවරු 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන බවද අගරදගුරුතුමෝ පැවසූහ.

මෙම ජනපවුර ශක්තිමත් කිරීමට ජාති, ආගම්, කුලමල, පාට පක්ෂ භේද නොසලකා පෙළගැසෙන ලෙස යුක්තිය අගයන  සියලු‍ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එතනට පැමිණිය නොහැකි සියලු‍ දෙනාට පෙරවරු 8.45ට තමන් වැඩ කරන ස්ථානයේ නැගී සිටිමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවද කාදිනල් තුමෝ සඳහන් කළහ.