(අංජුල මහික වීරරත්න)

මෙරට කෘෂිකාර්මික කටයුතුවලදී ඒ ඒ පළාතේ පස පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා පසේ සංයුතිය අනුව පමණක් යල කන්නයේ සිට පොහොර යෙදවීමට ගොවීන් දැනුවත් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. 

එසේ කළහොත්  අනවශ්‍ය ආකාරයට කෙරෙන රසායනික  පොහොර ආනයනය සීමා කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

කෘෂිකර්ම අමාත්‍යාංශයට  2022  වර්ෂය සඳහා අය - වැයෙන් වෙන්කර දී ඇති මුදල් වියදම් කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  පැවැති සාකච්ඡාවකදී  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පස පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන 362කට ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා  තවත් මධ්‍යස්ථාන 200කට ලබන වසරේ දී පස පරීක්ෂා කිරීමේ උපකරණ ලබා දෙන්නට හැකියාව තිබෙන බවද කීය.