(සිතුම් චතුරංග)

කිලිනොච්චිය,උදයනගර් අම්බලකුලම් හි කාන්තාවක් පහරදී ඝාතනය කොට කිඹුලන් සිටින ඇළමාර්ගයකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් සැකකාර තරුණ අඹුසැමි යුවළ ලබන ජනවාරි 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ඇලෙක්ස් ඩි. රාජා මහතා  නියෝග කළේය.

එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරුණේ කිලිනොච්චිය උදය නගර් අම්බලකුලම් හි පදිංචි කනගරත්නම් ක්‍රිශෝරාජ් (22) සහ ඔහුගේ බිරිඳවූ කිශෝරාජ් දිල්විනී(19) නැමති අඹුසැමි යුවළකි.

සැකකරු දීර්ඝ කාලයක සිට මත්කුඩුවලට ඇත්බැහිවූවකු බවත් මත්ද්‍රව්‍ය භාවිතානොකරන ලෙස මියගිය කාන්තාව පැවසීමත් සමඟ උරණවූ සැකකරු උළු කැටයකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකොට ඇති බවට විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය අධිකරණයට දැණුම්දුන්නේය.

එලෙස ඝාතනය කොට ඇත්තේ දීර්ඝ කාලයක් එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිට මෙරටට පැමිණ කුලී පදනම මත කිලිනොච්චිය , අම්බලකුලම් හි තාවකාලිකව පදිංචිව සිටි රාසේන්ද්‍රම් රාජලක්ෂ්මි (67) නැමති දරුවන් පස්දරු මවක් වේ.