(විජේරත්න රත්නායක)
තමන් පොලිස් නිලධාරීන් බව පවසමින් පාසල් දරුවෙකු රවටා ඔහු සතුව තිබූ රුපියල් 40,000 ක් පමණ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (19) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල දෙයියන්නේවෙල පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු හා බදුල්ල ඔලියමණ්ඩිය පදිංචි 27 හැවිරිදි අයෙකි. මොවුන් දෙදෙනාම මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බවද අනාවරණය වෙයි.
සිය ජංගම දුරකතනය ද අතැතිව බදුල්ල ප්‍රධාන බස් නැවතුමේ බස් රථයක් බලාපොරොත්තුව රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකු අසළට ගොස් ඇති සැකකරුවන්, තමන් පොලීසියෙන් බවත් මෙම දරුවා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් කියා ඔහු රවටා පාළු ස්ථානයකට කැටුව ගොස් බියගන්වා ඔහු අතවූ ජංගම දුරකතනය රැගෙන පලාගොස් ඇත.
අනතුරුව එම දරුවා සිය පියා සමඟ ගොස් මේ බව පොලීසියට පැමිණිලි කර ඇති අතර අදාළ තොරතුරුවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වන විටත් සැකකරුවන් විසින් අගුළු ඇරීම පිණිස දුරකතන අලුත්වැඩියා කරන ස්ථානයකට ලබාදී තිබූ අදාළ ජංගම දුරකතනයද පොලීසිය මඟින් සොයාගෙන ඇත.
සැකකරුවන් අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ළමයින්ට කොහොමටවත් ජංගම දුරකථන වුවමනා නැහැ. දුරකථනය විතරක් නැතිවෙලා ළමයා බේරුණු එකත් ඇති.