(නිමන්ති රණසිංහ)

දෙමටගොඩ ඉන්ධන පෝලිමකදී පොලිස් නිලධාරියකු තල්ලුකර සාපරාධී බලවත්කාරය පෑ බව කියන ත්‍රීරෝද රථ රියැදුරකු රුපියල් ලක්ෂ 10ක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස වැඩබලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය.

සාමයෙන් සිටීමට සැකකරුට තරයේ අවවාද කළ අධිකරණ, සෑම දිනකම සවස 5ත් රාත්‍රී 10ත් අතර කාලයේ දෙමටගොඩ පොලීසියේ පෙනී සිටින ලෙසටද අමතර ඇප කොන්දේසියක් සැකකරුට නියම කළේය.

මෙලෙස ඇප නියම කෙරුණේ දෙමටගොඩ වැල්ලම්පිටියේ පදිංචි විශ්වනාදන් ධර්මනාදන් නැමැත්තාටය.

දෙමටගොඩ ඉන්ධන පිරවුම් හලට තෙල් ලබාගැනීමට පැමිණ සිටි මෙම සැකකරු එහි සේවකයන්ට සහ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට ද බැන වැදී පොලිස් නිලධාරීයා තල්ලු කර සාපරාධී බලහත්කාර පෑ බව සදහන් කරමින් පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

තම සේවාදායකයා පදවාගෙන පැමිණී ත්‍රිරෝද රථය තෙල් නොමැතිවීම හේතුවෙන් මග නතර වී ඇති බවත් පසුව කිලෝමිටර් පහක් පමණ පයින් ඇවිදගොස් දෙමටගොඩ තෙල් පිරවුම් හලේ තෙල් පෝලිමට එක්වී පැය හතරකට අධික වේලාවක් ගත කර ඇති බවත් සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා සදහන් කළේය.