පාකිස්තානයෙන් ආනයනය කළ බාස්මතී සහල් පරිභෝජනයට නුසුදුසු ප්ලාස්ටික් සහල් වර්ගයක්යැයි කියමින් සතොස කීර්ති නාමය විනාශ කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බව ලංකා සතොස සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් මහතා පැවසීය.
එම සහල් තොගයේ සාම්පලයක් වැඩිදුර විමර්ශනය සඳහා බොරුල්ල ජාතික වෛද්‍ය පරීක්ෂණායතනයට යොමුකළ බව කී සතොස සභාපතිවරයා සහල් පාරිභෝජනයට සුදුසු බව තහවුරු වුවහොත් සියලුම සමාජ ජාලා වෙබ් අඩවි සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කළේය.
සහල් ආනයනයේ දී ආහාර තාක්ෂණවේදියකු ලවා සාම්පල පරීක්ෂා කළ බවත්, ඒවා සුදුසු තත්ත්වයක ඇති බව තහවුරු වූ බවත්, මැයි මාසයේ ගෙන්වූ බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 20න් දැන් ඉතිරිව ඇත්තේ මෙට්‍රික් ටොන් හතරක් පමණක් බවත් සභාපතිවරයා කීවේය.
(044)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව සහතික බොරුවක්... හාල් කිලෝ එකක් හදන්න ප්ලාස්ටික් මොන තරම් ප්‍රමාණයක් අවශ්‍යද? අනික් කාරණාව කෘත්‍රිම සහල් නම් වතුරේ උඩ පාවෙන්න ඕනෙ නේද? මගේ දැනුම හැටියටයි මම කිව්වේ...
ලාංකික ජනතාවට සහල් වල ගුණාත්මක දැනුම බහුලයි. ඇත්තටම මෙහි ලොකු වෙනසක් පෙනෙනවා. ඔවුන් කියන දේ බැහැර කිරීමට පෙර මේ ගැන සොයා බැලිය යුතුයි. මම හිතන්නේ මේ සහල් නිපදවන්නේ මඤ්ඤොක්කා පිටිවලින් කියලා...
මේවා බාස්මති හාල් කියලා ඔප්පු කරන්නත් බැරි වේවි !!!
විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්නේ නැතිව කොහොමද සතොස සභාපති එහෙම කියන්නේ. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්නේ
ඔය ප්ලාස්ටික් සහල් කතාව ඇතිවුනේ චීනයෙන්, ඇත්තටම එතන වුනේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්‍රයක් මගින් ප්ලාස්ටික් බෑග් වගේ ඒව ප්‍රතිචක්‍රීකරණය කරාම එන්නෙ ප්ලස්තික් පෙලෙට්ස් කියන ස්ඵටික. ඕව මඟින් තමයි නැවත ප්ලාස්ටික් ද්‍රව්‍ය නිර්මාණය කරන්නේ. එම ප්ලාස්ටික් පෙලෙට්ස් එක එක හැඩයෙන් එක එක ප්‍රමාණයෙන් එනව, සමහර ඒව පරිප්පු ඇට වගේ සමහර ඒව සීනි ඇට වගේ සමහර ඒව මුං ඇට වගේ ඒ වගේම හාල් ඇට වගේ පෙටෙට්ස් වුනත් එනව, ඒව පොලිසැක් මළු වල දාල තමයි ප්ලාස්ටික් හදන තැන් වලට දාන්නෙ, මෙතනින් ආපු බොරුව චීනෙන් ලෝකෙ පුරා පැතිරුණා. ප්ලාස්ටික් හාල් තියෙනව කියල පෙන්නන්න හාල් බෝල පොලවෙ බම්ප් කරන වගේ හාස්‍යජනක ක්රමවේදද මේ අතර ලෝක පැතිරුණා. ලංකාවේදි මේ බොරුව යොදාගත්තෙ යම් ආගම් වලට අපහාස කිරීමට. මුලින් කිව්ව පකිස්තානයෙන් ආපු ආධාර සහල් ප්ලාස්ටික් කියල, පස්සෙ දැන් කියනව සතොසෙන් ගෙනාපු බාස්මතී හාල් ප්ලාස්ටික් ලු. ඇත්තටම සමාජ ජාල හා අන්තර්ජාලය මඟින් මේවගේ බොරු කටකතා පතුරුවන එකට ක්රීයාමාර්ග ගන්න කාලෙ හරි.
ලොකු හෝටල් වලින් කන සභාපතිලට හාල් ගැන ගැන දැනීමක් නැහැ. එදිනෙදා ගෙදර බත් උයන ගෘහනියකට තියන අත්දැකීම ඊට වැඩියේ ලොකුයි. බතක් ඉවුවට පස්සේ එකේ වෙනස ඉබේම තේරෙන නිසා තමයි මිනිස්සු පැමිණිලි කරන්නේ. පහුගිය කාලේ කොස් කොළ ක්‍රෝටන් කොළ කන්න කිවුවේත් මේ වගේ අය තමයි. හාල් කල්තියා ගන්න සමහර රටවල නොයෙකුත් රසායන පාවිච්චි කරන වගේම සහල් වල පැහැපත් පෙනුමක් ලබා ගැනීමට කෝටින් කියල දෙයකුත් කරනවා. මේ වගේ සහල් කල්තියා ගැනීමේ ක්‍රමයකට ලක් වෙච්ච සහල් තොගයක් වෙන්න ඇති.
සතොසේ සභාපතිගෙන් නම් අහල වැඩක් නැතිවෙයි. විද්‍යාත්මක පරක්ෂණයක් කරලා බලන්න වෙයි.
අපි ඔය කව්රුවත් කියන ඒවා පිලි ගන්නේ නැහැ. ඒත් ඔය විස හාල් සිද්ධියට මුහුණ දීපු අය කියන්නේ මේ දක්වාම කිසිදු වග-විභාගයක් සිදු නොවුණු බවයි.
පරිභෝජනයට නුසුදුසු ප්ලාස්ටික් සහල් කියන්නේ මොනොවද ? දන්නේ නැති නිසයි අහන්නේ. කෑවොත් විස වෙනවාද ? මැයි මාසයේ ගෙන්වූ බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 20න් දැන් ඉතිරිව ඇත්තේ මෙට්‍රික් ටොන් හතරක්... නම් ඉතිරි මෙට්‍රික් ටොන් 16, මෙලහකටත් බෙදාහැර තිබේද ? ඒවා පරිභෝජනය කර අසනීප වුන අය ගැන හෝ මියගිය අය ගැන වාර්තාවී තිබේද ?
අපේ මිනිස්සුත් වග විභාගයක් නැතුව ඕන දෙයක් ගෙඩිය පිටින්ම බාර ගන්නවා. ප්ලාස්ටික් හාල් කොහොමද තැම්බෙන්නෙ? මේකත් හරියට අර ජෙල් යෙදූ තිසර පට ඇන්දාම කාන්තාවන් වඳ වෙනවා කියපු කතාවට දෙවෙනි නෑ.
බාස්මතී ගෙන්නපු තවත් වෙළෙන්දෝ ටිකක් ඒ ගොල්ලන්ගේ තොගය විකුණගන්න ප්‍රචාරය කරපු එකක්...