(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බෙන්තොට ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේ පසුගිය දා සංගීත සංදර්ශනය පැවැති අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කර  ඔවුනට පහර දී තුවාල සිදු කළේ යැයි කියන පුද්ගලයින් හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක් , පොලිස් සැරයන් සැරයන්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා බෙන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

සංගීත සංදර්ශනය පැවති ක්‍රීඩාංගණය ප්‍රධාන දොරටුව අසල දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් පාලනය කරවීමට ගිය අවස්ථාවේ මෙම පොලිස් නිලධාරීන්ට පහරදීමක් සිදුකර ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා අතර ව්‍යාපාරිකයින් දෙදෙනෙකු සහ හෝටල් සේවකයින් දෙදෙනෙකු ද සිටින බව එම උසස් පොලිස් නිලධාරියා කීය.