(ගයාන් සූරියආරච්චි)

පොලිස් සේවයට මේ වනවිට නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක අඩුවක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

පොලිස්පතිවරයා ඒ බව පැවැසූවේ අපරාධ විසදීම සදහා ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් හා වෝහාරික ඡායාරූප ශිල්පීන් දක්වන දායකත්වය ඇගයීම වෙනුවෙන් අද (30) පැවති උත්සවයකට එක්වෙමිනි.

එම ඇගයීම් උත්සවය කොළඹ පිහිටි අපරාධ වාර්තා කොට්ඨසයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙතෙක් වාර්තාවී ඇති අපරාධ සම්බන්ධයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් සිදුකරනු ලබන සේවය අගයා පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරින් කීප දෙනකුට මූල්‍යමය පරිත්‍යාග ද සිදුකරනු ලැබීය.

එහිදී නිලධාරීන් 335 දෙනකු ත්‍යාග මුදල්වලට හිමිකම් කී අතර දරුණු ගණයේ අපරාධ 45 ක් ඇගිලි සටහන් විද්‍යාවෙන් විසදීම වෙනුවෙන් පොලිස් පරීක්ෂක ආර්.එම්.ඩබ්. රත්නායක වැඩිම ත්‍යාග මුදලක් හිමිකම් කීවේය.

එහිදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ මෙම වසරේ දී නිලධාරීන් 2500ක් විශ්‍රාම යෑමට නියමිත අතර ලබන වසරේ තවත් නිලධාරීන් 2700ක් පිරිසක් ලබන වසරේ දී විශ්‍රාම යෑමට නියමිත බවය.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් 10,000ක් සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවකී පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පොලිස් නිලධාරීන්ගේ වැටුප ඔවුන් කරනු ලබන කැපකිරීමවලට ප්‍රමාණවත් නොවන අතර ඒ සම්බන්ධයෙන් කළ දැනුම්දීමකට අනුව කැබිනට් අනු කමිටුවක් ඇති බවත් එම අනු කමිටුවට ආදාල යෝජනා ඉදිරිපත් කර  ඇති බවය.

කෙසේ වෙතත් පොලිස් නිලධාරින්ට වෙනත් ලාබ ප්‍ර යෝජන අවශ්‍ය නොවන ආකාරයේ වැටුපක් ඉදිරියේදී හිමිවනු ඇති බව විශ්වාස කරන බවද පොලිස්පතිවරයා එහිදී කියා සිටියේය.

එම අවස්ථාවට අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට, අපරාධ හා රථාවාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, අපරාධ වාර්තා කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගිවූහ.