(විමුක්ති එස් රුද්‍රිගු)

මැද පෙරදිග අර්බුදයත් සමග ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනාධාරය නොමැතිව ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුනේදී ඉන්ධන අලෙචි කිරීමට සිදුවීම හේතුවෙන් ලංකා අයි.ඕ.සී සමාගමට පමණක් රුපියල් කෝටි 200 ක පාඩුවක් සිදුව ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජය, පසුගිය අප්‍රේල් සිට සැප්තැම්බර් මාසය දක්වා ලබාදෙන බව පැවැසූ ඉන්ධන සහනාධාරය මුදල් අවසන් වූ බව පවසමින් පසුගිය ජූනි මාසයෙන් අවසන් කිරීම හේතුවෙන් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස තුනේදී පුද්ගලික ඉන්ධන සමාගම්වලට ඉන්ධන අලෙවි කිරීමට සිදුවූයේ සහනාධාරය නොමැතිව බවද ආරංචි මාර්ග පැවැසුවේය.

ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක්ද, පෙට්‍රල් සඳහා රුපියල් 20ක්ද සහනාධාරය ලෙස අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා ලබාදෙන බව රජය එම අවස්ථාවේදී ප්‍රකාශ කළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. සහනාධාරය නොමැතිව ලංකා අයි.ඕ.සී සමාගම ඩීසල් ලීටරයකට රුපියල් 120ත් 130ත් අතර පාඩුවක් ලැබූ බවත් පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 23ත් 24ත් අතර පාඩුවක් ලැබූ බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

රජය ඉන්ධන සහනාධාරය ලෙස ඩිසල් ලීටරයකට රුපියල් 100ක් ලබාදුන් කාලයේදී ලංකා අයි.ඕ.සී සමාගම රුපියල් 20 ක පමණ පාඩුවක් ලැබූ බවත් පෙට්‍රල් ලීටරයට රුපියල් 20 සහනාධාරයක් ලැබුණු අවස්ථාවේ රුපියල් 3ත් 4ත් අතර පාඩුවක් ලැබූ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. නමුත් සහනාධාරය ලබාදුන්නේ අප්‍රේල් සිට ජූනි දක්වා පමණක් බවත් ජූලි මාසයේදී රජය ප්‍රකාශ කර සිටියේ මුලින් සැප්තැම්බර් මාසය තෙක් සහනාධාරය ලබාදෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා වෙන්කළ මුදල ජූනි මාසයෙන් අවසන් වී ඇති බවත් යැයි ආරංචි මාර්ග සඳහන් කළේය.