(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා සිදුවූ අරගලයට අදාළ දර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දෙන ලෙසට නියම කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අද (18) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කළේ, මෙම උද්ඝෝෂණයේදී යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුට පරහදී බරපතල තුවාල සිදුකර ජීව උණ්ඩ 30ක් සහිත පතුරම් ගැබ් දෙකක් සහ ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ සිට කතානායකවරයාගේ නිල නිවස දක්වා වූ මාර්ගයේ නිති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් යුද හමුදා සෙබලුන් දෙදෙනකුට පහරදී තුවාල සිදුකර ඔවුන් සතු ජීව උණ්ඩ 30ක් සහිත පතුරම් ගැබ් දෙකක් සහ ටී පනස් හය වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

ඒ අනුව මෙම විමර්ශනයට අදාළව එම අවස්ථාවේදී රූපවාහිණී නාලිකාවල පටිගත කළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අවශ්‍යව ඇති බැවින් ඒවා ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා තිබිණී.