ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama'ath - NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්ෂක අංශ වෙත ඉකුත් 11 වැනිදා දැනුම් දී ඇත.
මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයද පොලිස්පතිවරයා වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයා ද ඉකුත් 9 වැනිදා මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇති බවත් ඒ අනුව මේ පිළිබඳව දැඩි සැලකිල්ල යොමු කළ යුතු බවත් විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්ෂක අංශ වෙත දන්වා තිබේ.
විශේෂ ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා විසින් ඇමැති ආරක්ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය සහ තානාපති ආරක්ෂක කොට්ඨාසය යන ආරක්ෂක කොට්ඨාසවල අධ්යක්ෂවරුන් වෙත මේ පිළිබඳව ලිපි මගින් දැනුවත් කර ඇත.
විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්ෂක කොට්ඨාසවල අධ්යක්ෂවරුන් වෙත යවා ඇති ලිපියේ මෙසේද සඳහන් වේ.
ජාතික තව්හීත් ජමාත් (National Thowheeth Jama'ath - NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඔහුගේ අනුගාමිකයින් හා එක්ව මෙරට තුළ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවට විදේශ බුද්ධි අංශයක් විසින් තොරතුරු වාර්තා කර ඇත. මෙම ප්‍රහාර සඳහා මෙරට ප්‍රසිද්ධ කතෝලික පල්ලි සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බවට වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉහත තොරතුරු සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික සොයාබැලීම්වලදී ප්‍රහාර සැලසුම් කිරීම සඳහා දායක වන බවට තොරතුරු සඳහන් පුද්ගලයින් අතුරින් කිහිපදෙනකු මෙම සේවාවේ බුද්ධි මෙහෙයුම්වලදී හඳුනාගෙන ඇත.
සහරාන් හාෂිමි (Zahran Hashmi) සහ ශාහීඞ් (Shahid) යන අයවලූන් 2018.12.26 වැනිදා මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ප්රතිමාවලට පහරදීමේ සිදුවීම්වලින් පසු ප්‍රදේශයෙන් පලාගොස් දැනට අක්කරෙයිපත්තු ඔලූවිල් ප්‍රදේශයේ රහසිගතව සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වේ.
රිල්වාන් (Rilwan) යන අය සහරාන්ගේ බාල සොහොයුරා හා ඔහුගේ මතවාදය වටා පිරිස් රැස්කිරීමේ නියමුවා ලෙස කටයුතු කළ කාත්තන්කුඩි පොලිස් වසමේ කුඬේයිකාරන් වීදිය මොහිදීන් පල්ලිය පාර නව කාත්තන්කුඩි 06 ලිපිනයේ පදිංචි මොහොමඞ් කාසීම් මොහොමඩ් රිල්වාන් (ජා.හැ.ප. 903432624 වී) බවට හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයා 2017.03.10 දින කාත්තන්කුඩි ප්‍රදේශයේ දී NTJ සංවිධානය හා තවත් ආගමික සංවිධානයක් අතර ඇති වූ ගැටුමකින් පසු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින බවට තොරතුරු තිබේ. මෙලෙස රහසිගතව සැඟව සිටියදී සිය සහෝදරයාගේ මතවාදය වටා පිරිස් රැස්කිරීමට කටයුතු කරමින් ඔහු සමග අක්කරපත්තුව, කුලියාපිටිය, පුත්තලම, මාවනැල්ල සහ තිහාරිය යන ප්‍රදේශවල සංචාරය කර ඇති බවත් දැනට ඔලූවිල් ප්‍රදේශයේ සිය සමීපතමයෙකුගේ නිවසේ රැඳී සිටින බවටත් තොරතුරු ලැබී ඇත.
රිල්වාන් රාත්‍රි කාලයේදී (පැය 2300 පැය 0400ත්) අංක 309/ බී ෆරිනාස් පාර දෙවන හරස් වීදිය, ආරියම්පති නැගෙනහිර, ආරිසම්පති යන ලිපිනය වෙත පැමිණෙන බවත් එම ලිපිනයේ මොහුගේ බිරිඳ හා දරුවා රැඳී සිටින බවටත් දැනගැනීමට ඇත.
මිල්හාන් (Milhan) ලෙස සඳහන් පුද්ගලයා "Mohamed Milhan" නමින් සමාජ ජාල ගිණුමක් පවත්වාගෙන යමින් සහරාන්ගේ සමාජ ජාල ගිණුම් සමග සබඳතා පවත්වන බවත් 2019.03.15 දින නවසීලන්තයේ කතෝලික ලබ්ධිකයෙකු විසින් මුස්ලිම් පල්ලියක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු සිය සමාජ ජාල ගිණුම් තිරන්තරයෙන් යාවත්කාලීන කරමින් අන්‍යාගමිකයින් පිළිබඳව ද්වේශසහගත ලෙස අදහස් දක්වා ඇති බවටත් වාර්තා වේ.
කල්මුණේ සහිරා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති මොහොමඩ් මිල්හාන් නමැත්තා 0767788353 දරන දුරකතන අංකය භාවිත කරන බවත් සහරාන්ගේ මතවාදය ඔස්සේ යමින් අන්‍යාගමිකයින් කෙරෙහි වෛරී හැඟීමකින් කටයුතු කරන්නකු බවටත් වාර්තා වී ඇත.
එසේම යුද හමුදාවේ හිටපු සෙබළකු වන අන්වර් පල්ලිය අසල, කාත්තන්කුඩි 03, පදිංචි බදුර්දීන් මොහොමඩ් මොහිදින් හෙවත් Army Mohideen (ජා.හැ.ප. 750683126 වී) නමැත්තෙකුද සහරාන් සමග සමීප සබඳතා පවත්වන බවත් ඉහත 2017.03.10 දින කාත්තන්කුඩි ප්‍රදේශයේ ගැටුමින් පසු ප්‍රදේශයෙන් පලාගොස් කුඹුරුමුල පාර, පාසිකුඩා, වාලච්චේන ප්‍රදේශයේ ස්ථානයක රහසිගතව රැඳී සිටින බවටත් දැනගැනීමට ඇත. මෙම පුද්ගලයා සිකුරාදා දිනවල රාත්‍රී කාලයේ බිරිඳ සහ දරුවන් බැලීම සඳහා කාත්තන්කුඩි 03, ඉහත සඳහන් කළ ලිපිනය වෙත පැමිණෙන බව සොයාගෙන ඇත.
සහරාන් යන අය සමාජ ජාල ගිණුම් ඔස්සේ සිය අනුගාමිකයින් අභිපේ‍්‍රරණය කිරීමේදී මෙරට කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල ඉලක්ක කරගන්නා ලෙස නිශ්චිතව සඳහන් කළ බවට මේ වන තෙක් නිරීක්ෂණය වී නොමැති නමුත් සියලු අන්‍යාගමිකයන් ඝාතනය කිරීම උතුම් ආගමික කරුණක් බවත් අන්‍යාගමිකයින් විනාශ කරමින් ඉස්ලාමය ප්‍රවර්ධනය කළ යුතු බවටත් සඳහන් කරමින් 2016 වර්ෂයේ සිට සිය සමාජ ජාල සහ ආගමික දේශන හරහා අනුගාමිකයන් අභිපේ‍්‍රරණය කරන බව නිරීක්ෂණය වී ඇත.
ඉහත සඳහන් තොරතුරු පිළිබඳව රහසිගත පරීක්ෂණ සිදුකරමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම බුද්ධි අංශය වෙත තමයි වරද ආවේ... ඒත් ඔවුන් ප්‍රශ්න මැද වුවත් ඔවුන්ගේ යුතුකම කරලා තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා දැනුවත් කරලත් තියෙනවා. ඇමති ආරක්ෂක ඒකකත් දැනගෙන තියෙනවනේ. එතකොට වැඩේ කරලා නැත්තේ මූලිකවම රටේ ආරක්ෂාව සහ පොලිසිය බාරව ඉන්න එක්කෙනා නේද? (ඇමතිවරුනුත් වගකීම පැහැර හැරලා තියෙනවා). ඔහු ඉල්ලා අස්විය යුතුයි. මෙයාලා හිටියොත් තව මොනවයින් මොනවා වෙයිද කියන්න බෑ.
යහපාලනේ හොඳටම සනීපයි..
මෙවැනි රටට පිළිලයක් වන සංවිධාන තහනම් නොකළේ ඇයි ??? දැන් කල යුත්තේ මේ සංවිධානය මුලිනුපුටා දමන එකයි.
මේකටත් රණවිරුවා දන්ගෙඩියට ගෙනයයිද?
අපේ රටේ මේ අන්තවාදී සංවිධාන ආවේ අදෙ, ඊයේ නොවේ. මෙය මුලින්ම එළියට ආවේ 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමගමය. මේ ගැන සිංහල මිනිස්සු කථාකරන විට ඔවුන්ට හංවඩු ගැසුවේය.
දැන්වත් ඥාණසාර හමුදුරුවන්ව නිදහස් කරන්න.
නැගෙනහිර පළාත් සභාවට තව ටිකක් වැඩිපුර බලතල දුන්නා නම් ඉක්මනටම වැඩේ ඉවර කරලා දමාවි...
ඔය කිහිප දෙනාට ඔච්චර දෙයක් කරන්න බැහැ.. ඔය විදිහට බෝම්බ හදන්න විශේෂ පුහුණුවක් ඕනේ... පහුගිය කාලේ නැගෙනහිර පළාතේ හුඟක් අරාබි ජාතිකයන් ගැවසුණු මොවුන් තමයි ඕවට මූලික වෙන්න ඇත්තේ..
මේකෙ මෙහෙමත් තියෙනවා "ඇමැති ආරක්ෂක කොට්ඨාසයට" දැනුම් දුන්න කියල. ඒ කියන්නෙ ඇමතිලා බේරුනොත් ඇති. සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා උනත් කමක් නැහැ. ඒකද මේ කියන්නෙ?
ආරක්ෂක අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපති තුමාගේත්, ඇමතිවරුන්ගේත් ඒ උත්තමයන්ගේ පවුල්වලත් ආරක්ෂාවට මිස රටේ ඉන්න ඔය එක එක පීචන් බයියලගේ ආරක්ෂාවට නොවෙයි. වැඩේ අවදානමක් දැනුණ හින්ද වෙන්න ඇති ජනාධිපතිතුමා ආරක්ෂක මහා බලසම්පන්න යාන්ත්‍රයක් දාගන්න තිරුපති කෝවිලටත් ගියේ. ඉතින් එකේ ආනුභාවෙන් එතුමා ආරක්ෂා වුණා මදිද? ජේ.ආර්. මහත්තයත් කිවුවනේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන් බලා ගන්න ඕන කියල! ලංකාව කියන්නේ පුදුම ලෝකයක්! බමුණු ආරච්චි මහත්තයා සද්ද නැතුව ඉන්නේ උන්නැහෙවත් අත් අඩංගුවට පත් වෙලාද කියල හොයා බලමු. එයාවත් අපට නැතුවම බැහැනේ!
මේ විදියට මේ හාදයෝ ඔක්කොම අයගේ අලගිය තැන්, මුලගිය තැන් දැනගෙන නිදාගෙනද ඉඳලා තියෙන්නේ? අර "කුප්‍රකට" ලියුමේ තිබුණු විදියට ඒ අනතුර ගැන පියවර ගත්තා නම් මේක වළක්වා ගන්න තිබුනේ නැත්ද? අනික රජයේ ඇමතිවරයකුත් මේ ගැන හරියටම දැනගෙන ඉඳල තියනවා.... හරි නම් අත්අඩංගුවට ගන්න ඕනෑ. එයා කියන හැටියට කොච්චිකඩේ ප්‍රහාරය ගැන දැනගෙනත් තොරතුරු වසන් කිරීමේ වරදට මේ අයට ඕනෑ බටහිරට රිද්දන එකයි. මෙහෙ කතෝලික පල්ලි වලට, සංචාරක හොටල්වලට ගැහුවේ... බටහිර දැන් නීතිතදයි. එ්ක නිසා එහෙ අමාරුයි, නැත්නම් පන්සල්වලට මීට ලෙහෙසියෙන් ගහන්න තිබුණා.
මේක යහපාලන හරි වෙන වරදක් නෙමෙයි. රටේ නායකයා දැනුවත් කරලා තියෙනවා, එයා මොනවත් කරන්නේ නැතුව තිරුක්කෝවිල් ගිහිල්ල, සිංගප්පුරු ඇවිදලා ඊයේ රෑ තමයි රටට ආවේ. රටේ නායකයට රටේ ආරක්ෂාව ගැන කටයුතු කරන්න කිසිම හදිසියක් නෑ, එත් අගමැති වෙනස් කරන ඒවා නම් පැයෙන් කරන්න හැදුවා. තනතුරු ගැන උගත් කමක් නැති අය ඉන්නකොට මේවා වෙන එක පුදුමයක් නෙමෙයි. දැන්වත් පරීක්ෂණ කරලා මේ 290 ක් මරන්න අවස්ථාව හදල දීපු කෙනාව නීතියේ හමුවට ගෙන්න මේ රජයට කොන්දක් තියෙයි කියල හිතනවා. ඊයේ ජීවිත නැති උන අපේ අහිංසක මිනිස්සු 290 වෙනුවෙන් මෙය කල යුතුයි, දේශපාලන ගැතිකම් බලන්නේ නැතුව.
මෙවැනි සංවිධාන සහ පුද්ගලයන් ගැන දැනගෙනත් ඔවුන් යනඑන තැන් දැනගෙනත් අත්අඩංගුවට නොගත්තේ ඇයි? ආරක්ෂාව බාර හැම අමාත්‍යාංශයක්ම තියෙන්නේ ජනාධිපති අතේ... ඔහු වගකීම ගත යුතුයි.
පොඩ්ඩක් හිතන්න. මේ සඳහන් කරන උදවිය ගැන තොරතුරු ඔවුන් යනෙන තැන් භාවිතා කරන දුරකථන අංක හරියට දැනගෙනත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? කොහේ හරි වරදක් තියනවානේද? කරුණා කර කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද? එසේ නැතිනම් අඩුම තරමේ ආරක්ෂක අංශ සමාජිකයින්වත් හරියට දැනුවත් කරලාද?
මේක තාවකාලික පසුබැස්මක් විතරයි. සරත් ෆොන්සේකා මැතිතුමාට ආරක්ෂාව භාරකරාම ඔක්කොම විසඳාවි. නැවතත් පසුගිය අවුරුදු තුනේ වගේ ශ්‍රී ලංකාව නැවතත් දියුණු වේවි... දේශපාලන වාසි නොගෙන රජයට සහයෝගය දෙන එකයි වැදගත්...
අපේ හාමුදුරුවරු හිරේ දැම්ම නේද ඔය අවදානම කලින් හෙළි කලා කියල. හෙන ගණහ වෙලාවට එලියට යන්න එපා. ලංකාවට තව 10 වසරකටවත් මේකෙන් ගොඩ එන්න බැහ. ආර්ථිකය ඉවරයි.
ඔය තියෙන තොරතුරු ටික මිනිස්සුන්ට දුන්නා නම් තමන්ම සිය ආරක්ෂාව ගැන බලාගන්නවා. ඔය 225 ට කන්න අඳින්නද මේ රටේ මිනිස්සු බදු ගෙවලා ඒකෙනුත් 50%ක් විතර ආරක්ෂක වියදම්වලට වෙන්කරවා ගන්නේ? මිනිස්සුයි හැදෙන්න ඕනෑ... දැන් පාලකයින් වෙනස් නොවෙනකොට මිනිස්සු වෙනස් විය යුතුයි. මේක හැම වහලාටම අදාලයි 225ට කඩේ යන...
මෙම ප්‍රහාරය වළකාගන්නට තිබුණා. මේක සිදුවුණේ දේශපාලන බෙදීම්වලට වැඩකරන රා්‍ය නිලධාරින් නිසා. මෙම බුද්ධි තොරතුරු රජයට දැනුවත් නොකිරීම තමයි ලොකුම වැරැද්ද.. ජනාධිපතිට දැන්වූවා නම් ඔහු කැබිනට් එක දැනුවත් කර ක්‍රියාමාර්ග ගත යුතුයි. ඔවුන්ට ඕනෑ වුණේ බෝම්බ පිපිරීම රටේ ඡන්ද ගොඩ විපක්ෂයට වැඩිකර ගැනීමට විතරයි. ඔවුන් හිතුවේ නෑ මෙච්චර ලොකුවට වෙයි කියලා. ජනාධිපති දැනුවත් නම් ඔහු තමයි වගකියන්න ඕනේ...