ප්‍රංශ රජයට එරෙහිව විරෝධතා පවත්වන, පාසල් සිසුන් උසිගන්වන්නේ, ඉස්ලාමීය අන්තවාදීන් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රමුඛ රජයේ ලිහිල් සංක්‍රමණික ප්‍රතිපත්ති හේතුවෙන්, ඉස්ලාමීය අන්තවාදීන් ප්‍රංශයට රිංගා ගෙන සිටින බවටත්, අද ඔවුන් ප්‍රංශය ‘අවුල් ජාලයක්’ බවට පත් කර ඇති බවටත් ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් චෝදනා නගයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ චෝදනා නැගුවේ, ප්‍රංශයේ දිනෙන් දින ඔඩුදුවන සිසු විරෝධතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමිණි.

ප්‍රංශයේ විරෝධතා පවත්වන්නේ අවුරුදු 15 ත් 18 ත් අතර වයස්වල සිසු සිසුවියන්ය. ඒ අතරේ සිටින වැඩිදෙනා, මුස්ලිම් සම්භවයක් ඇති අය යැයි ද පැවැසෙයි.

ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින්, විරෝධතා පවත්වන සිසුන් තම තමන්ගේ පාසල්වලටත් අධ්‍යාපන ආයතනවලටත් පහර දෙන බවත් ගිනි තබන බවත් වාර්තා වේ. එම සිසුන් ගුරුවරුන්ට සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පහර දෙයි.

ප්‍රංශයේ සිසු විරෝධතා ආරම්භ වූයේ පාසල්වල පවතින අයහපත් තත්ත්වය සම්බන්ධයෙනි. විරෝධතාකරුවන් ප්‍රංශ රජයෙන් ඉල්ලන්නේ ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසු විදියේ පරිසරයක් නිර්මාණය කර දෙන ලෙසය.

විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ රජයේ පාසල්වල යටිතල පහසුකම් පවතින්නේ ඉතාමත් දුර්වල තත්ත්වයකය. පවතින ගරු හිඟය ද සිසුන් දැඩි ලෙස කෝපයට පත්වී සිටින බව පැවැසෙයි.