හම්බන්තොට මාගම්පුර වරායේදී මාධ්‍යවේදියකුට නාවික හමුදාපති එල්ල කළ ප්‍රහාරය හෙළා දකින් බවත්, තමා  එම නිවේදනය නිකුත් කළේ නාවික හමුදාපති බේරීමේ අරමුණින් නොවන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පැවසීය.

මාධ්‍යවේදියකු ලෙස එහි ගොස් රාජකාරී කිරීමේදී වෘත්තීය ආචාර ධර්ම රැකිය යුතු බවත්, ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු බවත් කලංසූරිය මහතා කීවේය.

‘පහරදී ආචාර ධර්ම සෙවීම මාධ්‍ය නිදහසද?‘ මැයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සංවිධනය කළ සංවාදයකදී ඔහු එසේ කීවේය.

මෙම ප්‍රහාරය කොන්දේසි විරහිතව හෙළා දකින බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා ද එම සංවාදයට එක්වෙමින් සඳහන් කළේය.

මෙම සංවාදයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආරක්ෂක ලේකම්, නාවික හමුදාපති හා පොලිස්පතිට ලිඛිතව ආරාධනා කළත් එම අංශ මෙම සංවාදයට එක් නොවූ බවත් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති ශාලික විමලසේන මහතා පැවසීය.