(නිමන්ති රණසිංහ)
 
පාර්ලිමේන්තුව තුළ කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බව සදහන් කරමින් මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
 
‘සත්‍ය ගවේෂකයෝ’ නැමැති සංවිධානයේ නිතීඥ පේ‍්‍රමනාත් චමින්ද දොළවත්ත මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ආරම්භ කර ඇති මෙම විමර්ශනය, විෂ හා මත්ද්‍රව්‍ය පනතේ 54 (අ), (ආ) වගන්ති ප‍්‍රකාරව සිදුකරනු ලබන බව ද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
 
ඉකුත් පෙබරවාරි මස 11 වන දින සහ ඉන් අනතුරුව කිහිප වතාවක්ම රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙම අත්තනෝමතික ප‍්‍රකාශය නිකුත් කර ඇති බවත්, එය සමස්ථයක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට වන හානියක් වන බැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණී.