(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරයේ පොදු  ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා බොහොමයක් සඳහා හිටපු සභාපතිවරුන්ම පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි  දැනගන්නට ඇත.

නවවෙනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය චරිත හේරත් මහතා කටයුතු කළ අතර රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය තිස්ස විතාරණ මහතාය.

එම දෙදෙනාගේ කාර්යභාරය පසුගිය කාලයේදී පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ පැසසුමට  ලක්විය.

නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු දැනට පිහිටුවනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු කමිටු තුනක්  පමණි.

සෙසු සියලු කමිටු ඉදිරි සති දෙක ඇතුළතදී පත් කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත් කෙරිණ. එහෙත් එහි සභාපති ධූරයට  මන්ත්‍රීවරයෙකු තවමත් පත්කර නොමැත.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසි වාරයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.

ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනු ලැබුවේ පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධූර වෙනස් කිරීම සඳහා යැයි  විපක්ෂයේ ඇතැම් දේශපාලඥයෝ පසුගිය කාලයේදී චෝදනා කළහ.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ එවැනි අරමුණක් ඇතුව නොවන බවට  රටට පෙන්විය යුතු යැයි   මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ආණ්ඩු පක්ෂයේ රැස්වීම් කිහිපයකදී  පෙන්වාදී ඇතැයි  රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ බොහෝ කමිටු පත් කරනු ලබන්නේ එහි තේරීම් කාරක සභාව(committee of selection ) විසිනි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කතානායකවරයා විසින් පසුගියදා පත් කරනු ලැබීය.