උසස් පෙළ විභාග ප්‍රතිඵල පමා කිරීම නිසා සිසුන්ට නේරු, රජිව් ගාන්ධි ඇතුළු ශිෂ්‍යත්ව කිහිපයකට ඉල්ලුම් කිරීමේ අවස්ථාව ඇහිරී ගොස් ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

පසුගිය වසරේ අගෝස්තුවේ පැවැති ඡන්දය නිසා විභාගය අවසන්වීමට ප්‍රමාද වුවත් ප්‍රතිඵල ජනවාරි තුන් වැනිදා වන විට නිකුත් කළ බවත්, මෙවර තාක්ෂණික විෂයට වැඩි සිසුන් ප්‍රමාණයක් පෙනී සිටීම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම පමා වන බවට කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

විෂයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව ඔවුන් විභාගයට අයදුම් කරන අවස්ථාවේ විභාග දෙපාර්තමේන්තුවට වාර්තා වන බව ද, එනිසා කල් ඇතිව නිසි ක්‍රමවේදයක් සකස් කර තබා ගැනීමට අවස්ථාව තිබුණු බව ද කියන ස්ටාලින් මහතා ප්‍රතිඵල ප්‍රමාදය නිසා සිසුන් පීඩාවට පත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව වග කිව යුතු බව ද සඳහන් කරයි.

2015 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම් ආරම්භ වී ඇති බවත්, තමන් අපේක්ෂා කළ  පාඨමාලා සඳහා තේරී පත් නොවූ සිසුන් අනෙකුත් පාඨමාලා සඳහා අයදුම් කිරීමට පෙර දෙවැනි වර ප්‍රතිඵල එන තුරු බලා සිටින බව ද,   මෙවර හොඳ ප්‍රතිඵල අත්කරගෙන ඇත්නම් ප්‍රධාන විෂය ධාරා ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඔවුන් සූදානමින් සිටින බව ද, එසේ හෙයින් ප්‍රතිඵල පමා වීම නිසා දෙවැනි වර විභාගයට පෙනී සිටි සිසුන්ට ද දැඩි අසාධාරණයක් වී ඇතැයි ද ස්ටාලින් මහතා කියයි.