(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබූ මිල අධික පෞරාණීක වටිනාකමකින් යුත් පියානෝ තුනක් අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) නියෝග කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඉකුත් 2021 වර්ෂයේ ජුලි මස 01 වැනිදා කළ පැමිණීල්ලකට අදාළව එහි තිබූ මිල අධික පියානෝ තුනක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොදු දේපල පනත ප්‍රකාරව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 2 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා විසින් මෙම පැමිණීල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.
මෙය, 1982 අංක 12 දරණ පොදු දේපල පනත ප්‍රකාරව සිදුකර ඇති වරදක් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත්, මෙහි සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාණෝ 3ක්? මගෙ දෙයියනේ... සාක්කුවෙන් දාගෙන යන්න පුළුවන් දේවල් කොහොම අතුරුදහන් වෙනවා ඇතිද? පෞරාණික දේවල්වලට නම ගිය කට්ටියගේ ගෙවල්වල බැලුවා නම් හරි. ඔය කඩු එහෙම හොයපු අය ඉන්නවනේ...!