ඔබේ ජීවිතේ සුන්දරම දවස් අතරේ උපන්දිනයත් සුවිශේෂ එකක් නේද? ඒ ගතවුණු කාලසීමාව තුළ ගෙවීගිය සුන්දරම උපන්දින සැමරුම ඔබට මතකද? මේ එවැනි සුන්දර උපන්දින සැමරුමක් ගැන කතා කිරීමක්. ඒ අද දින උපන්දිනය සමරන කලා තරුවක් කියන කතාවක්. ඒ තමයි ඔබ අප ආදරය කරන කලා ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි.
මගෙ ජීවිතේ අමතක නොවනම උපන් දිනය තමයි 2015 ජනවාරි 08 මම 50 වෙනි වියට පා තබපු දවස. ඇත්තටම ඒ දවසෙ හරි සුවිශේෂී සිදුවීමක් වුණා.
මොකද ඒ දවසෙ මගෙ ගෝල බාලයෝ, පවුලේ කට්ටිය, නෑදෑයෝ ඒ හැමදෙනාම එකතුවෙලා සර්ප‍්‍රයිස් පාටි එකක් දුන්නා අපේ ගෙදර. ඇත්තටම මම ඒ ගැන පොඞ්ඩක්වත් දැනගෙන හිටියෙ නෑ. ඒ හැමෝම පාටි එකට ලෑස්තිවෙන වෙලාවෙ මගෙ සැමියා සම්පත් මාව පන්සල් එක්කං ගිහින් හිටියෙ. ඒ ඔක්කොම එයාලා ප්ලෑන් කරලා තිබුණෙ.
මම පන්සල් ගිහින් එන ගමන් සම්පත්ට කිව්වා යද්දි කෑමට මොනවහරි අරගෙන යමු කියලා. ඒත් එයා ඒක ගණන් ගත්තෙවත් නෑ. ඒ වෙලාවෙ ඇත්තටම මම ගෙදර ගියෙත් හරි කේන්තියෙන්. මොකද මට ගෙදර ගිහින් උයන්නත් වෙන හින්දා.
ඒත් ඉතින් ඒ වෙලාවෙ එයා කිව්වෙ ගෙදර ගිහින් මොනවහරි හදාගමු කියලා. ඒ කේන්තියත් එක්ක මම ගෙදර යද්දි ඒ මදිවට ගෙදරත් එක ලයිට් එකක්වත් දාලා තිබුණෙත් නෑ. ඉතින් මගේ තරහ දෙගුණ වුණා.
ඒ වෙලාවෙ මම ගෙදරට ඇතුල් වෙද්දිම බැනගෙන ගියෙ මොකද පුතා මේ ලයිට් එකක්වත් දාන්නෙ නැතිව කරන්නෙ කියලා. එහෙම කෑ ගහගෙන දොර අරිද්දිම මට පේනවා හතර වටේටම ඔළු ගෙඩිවගේ තැන් තැන්වල තියෙනවා. මම ඇත්තටම ඒ වෙලාවෙ හොඳටම බයවුණා ගෙදරට හොරු පැනලද දන්නෙත් නෑ කියලා.
ඒ වෙලාවෙම කළුවරේම කට්ටිය උඩ තට්ටුවෙ ඉඳලා කේක් එකට ඉටිපන්දම් ගහගෙන හැමෝගෙම ෆෝන්වල ලයිට් ගහගෙන වීඩියෝ කළා මම ඒ මොහොතෙ තැති ගැන්වුණු විදිය.
මම ඇත්තටම ඒ වෙලාවෙ මාරම විදියට තැති ගැන්විලා හිටියෙ.
නමුත් එයාලා ඕගන් එකෙන් ඒ මොහොතෙම HAPPY BIRTH DAY කියලා වාදනය කළා. ඒ වෙලාවෙදි මට ලොකු සතුටක් ඇතිවුණා. ඉතින් හරිම පුදුමයි. මම කළුවරේ ඔළු තියෙනවා වගේ බයවෙලා තියෙන්නෙ පාට පාට බැලූම් පුම්බලා තැන් තැන්වල දාලා තිබුණු එකට. ඒ දවස ඇත්තටම සොඳුරු මතකයන් සපිරි දවසක්. මට තෑගිත් ගොඩක් ලැබුණා. මගෙ සැමියාත් පුතාත් අපි තුන්දෙනාගෙ ලොකු පින්තූරයක් රාමු කරගෙන ඇවිල්ලා තිබුණා.
ඒ වගේම මගෙ ගෝලයොත් පොඩි කාලෙ ඉඳන්ම ඒ ගොල්ලො ළඟ තිබුණු ෆොටෝස් එකතු කරලා ලොකු පින්තූරයක් රාමු කරලා දුන්නා. පුතාගෙන් ලස්සන අත්කම් නිර්මාණයකුත් ලැබුණා. යාළුවොත් එක එක දේවල් කෑම, බීම ගොඩක් ගෙනැල්ලා කිසිම අඩුවක් නැතිව ලෑස්ති කරලා තිබුණා. මට ඇත්තටම දැනුනෙ නෑ මේ වගේ දෙයක් කරයි කියලා. ඒ දවස ඉතින් ගොඩක් මතකයි. අපි ගොඩක් සතුටු වුණා.
ධනු විජේරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd