(සුජිත් හේවාජුලිගේ )

සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන්ද පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කර ඇත.

රාමනායක මහතා කළ ඉල්ලීමක් අනුව එම තීරණය ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.

නීතිඥවරයකු මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලෙස මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතය.

ඒ අනුව එම දිවුරුම් ප්‍රකාශයද ඉදිරි විමර්ශන සඳහා යොදා ගැනෙනු ඇත. පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී  නිරුපමා රාජපක්ෂ මහත්මියගෙන් සහ ඇයගේ ස්වාමිපුරුෂයාවන  තිරුකුමාර් නඩේසන් මහතාගෙන්   පසුගිය කාලයේදී ප්‍රකාශ සටහන් කර ගත්තේය.

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන සඳහා දේශීය වාණිජ හා රාජ්‍ය බැංකුවලින්ද  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්ද  අල්ලස් කොමිසම ලේඛන ලබාගෙන ඇත.

ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය,ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන මිලියන 12 කට ආසන්න ප්‍රමාණයක් පැන්ඩොරා පත්‍රිකා මගින් පසුගියදා අනාවරණය කෙරිණ.