(රංජන් කස්තුරි)

පෞද්ගලික බලාගාර දෙකකින් මෙගාවොට් 71 ක් මේ වන විට ජාතික විදුලිය පද්ධතියට එක්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.  එස්. පවර් සපුගස්කන්ද බලාගාරයෙන් මෙගාවොට් 51 ක් ද , එස්. පවර් මාතර බලාගාරයෙන් මෙගාවොට් 20 ක් ද වශයෙන් මේ වන විට ජාතික විදුලිය පද්ධතියට එක්කර තිබෙන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. 

මීට අමතරව තවත් පෞද්ගලික බලාගාර කීපයකින් විදුලිය මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

හදිසි මිලදීගැනීමක් ලෙස මෙගාවොට් 100ක විදුලි ධාරිතාවයක් පෞද්ගලික අංශයෙන් ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර දී තිබිණ. 

ටෙන්ඩර් පටිපාටියට අනුව ඒ සඳහා තෝරාගෙන තිබුණේ ඇග්‍රිකෝ, වී පවර් සහ අල්ටාස් ඕල්ඩර්නේටිව් නැමැති විදුලි  ජනන සමාගම්ය. එම ආයතන සමඟ තවත් දින කිහිපයක් ඇතුළත ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව සිංහල - හින්දු අලුත් අවුරුද්දට පෙර වාර්තා විය. 

මෙම ආයතනවලින් මාස 6 ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලිය ඒකකයකට රුපියල් 28 ත් 30 ත් අතර මුදලක් ගෙවීමට නියමිත බවද පැවැසේ. එම සමාගම් වලින් එලෙස විදුලිය මිලදී ගැනීමත් සමඟ රටපුරා අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදිය හැකි බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.