(රෝෂන් තුෂාර)

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්  දේවස්ථානයට පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ හා සදාකාලික ආබාධයට පත් වූ වින්දිතයන් හා ඔවුන්ගේ ඥාතීන් පැවරූ නඩු 182 කින් තමන් මුදා හරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන ගොනු කළ අභියාචන පෙත්සම මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළේය.

වින්දිතයන් පැවරු නඩු පවරා පවත්වාගෙන යෑමට නොහැකි බැවින් තමන් මුදා හරින ලෙස කළ ඉල්ලීම දිසා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගයට එරෙහිව පූජිත ජයසුන්දර හා නිලන්ත ජයවර්ධන ගොනු කළ අභියාචන පෙත්සම් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු සහ නිරෝෂා ප්‍රනාන්දු යන මහත්මීන් විසින් මෙසේ ප්‍රතික්ෂේප කරන කෙරිණි.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් විසින් පවරා ඇති වන්දි නඩුකර පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බැවින් එය මූලික නෛතික විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස සලකා තමන් මුදා හරින ලෙස කළ ඉල්ලීම මීගමුව හිටපු දිසා විනිසුරු සහ වර්තමාන කොළඹ දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා විසින් 2024 දෙසැම්බර් මස 11 දින ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කළේය.

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන පොලිස් නිළධාරීන් වන බැවින් ඔවුන්ට එරෙහිව පවරන ඕනෑම නඩුවක් පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අදාල සිදුවීම සිදු වී මාස 3ක් තුළ පැවරිය යුතු බවත්, මෙම වන්දි නඩු පවරා ඇත්තේ මාස තුන ඉක්ම ගිය පසුව බැවින් වගකත් උත්තරකරුවන් නඩු වලින් මුදා හරින ලෙස ඉල්ලා මෙම මූලික විරෝධතාව ගොනුකොට තිබිණි.

එම මූලික විරෝධතාව ඉදිරිපත් කරමින් වගඋත්තරකරුවන් මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ අගතියට පත් පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් තර්ක කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාල පොලිස් නිළධාරීන් ඇතුලු අනෙකුත් විත්තිකරුවන් වගකිවයුතු බව තම සේවාදායකයන් හට දැනගැනීමට ලැබුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ කටයුතු සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා වලින් බවයි. ඒ සම්බන්ධයෙන් දැනගත් පසු නියමිත කාලය තුළ අදාල දැන්වීම් යොමු කර, සියලු නඩු පැවරීමට පැමිණිලිකරුවන් කටයුතු කර ඇති බවත් ඒ අනුව විත්තිකරුවන්ගේ ඉල්ලීමට ඉඩ ලබා නොදෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.