(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට  (3) පස්වරු  3.00ට පැවැත්වීමට නියමිතය.

අධිභාර බද්ද පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගැනීම සහ  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්  පාර්ලිමේන්තු සංකීර්ණයට සැකකටයුතු පාර්සලයක්  රැගෙන එන ලදැයි කියන සිද්ධිය ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

සැකකටයුතු පාර්සලක් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි  සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් මැතිසබයේදී   පසුගියදා ඉල්ලීමක් කළහ.

පාර්ලිමේන්තුව නැවත සාමාන්‍ය පරිදි  රැස්වීමට නියමිතව  ඇත්තේ ලබන 8  වැනිදා අඟහරුවාදාය.මේ අතර ඉන්ධන හිඟය සහ  විදුලිය කැපීම ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වල්දී රජයෙන් නැවත වරක් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ඉකුත් සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලදීද  ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණු බව හෙතෙම සඳහන් කළේය.