(රංජිත් රාජපක්ෂ)

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියේ සිට ගම්පොල දක්වා වූ කොටස නැවත ප්‍රතිසංස්කරණය කර මේ වසර අවසන් වන විට නාවලපිටියේ සිට මහනුවර දක්වා දුම්රියක් ධාවනය කිරීමට හැකි බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර තුශාරී ජයසිංහ මහත්මිය පැවසිය.

මන්ත්‍රීවරිය ඒ බැව් කියා සිටියේ, තැඹිලිගල වරකාපිටිය දුම්රිය ස්ථානය අසල  දැඩි ලෙස හානියට පත් වූ දුම්රිය මාර්ගය නැවත අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව නිරීක්ෂණයට එක්වීමෙන් අනතුරුවයි. 

හානියට පත් වැඩ බිම් සඳහා අවශ්‍ය  ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන යාමට මාර්ග නොමැති නිසා ඒ සඳහා පෞරාණික උඩගම පත්තිනි දේවාලය සහ ගම්වාසීන්ගේ පෞද්ගලික ඉඩම් හා කුකුල් ගොවිපලවල් මතින් විකල්ප මාර්ගයක් අවශ්‍ය වී තිබෙන බවත්, ගම්වාසීන් ඒ සඳහා ඉඩම් ලබාදීමට යම් මැලිකමක් දැක්වීම නිසා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ඉල්ලීමක  අනුව පාර්ලිමේන්තු මන්ත්‍රණී තුෂාරි ජයසිංහ මහත්මිය සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල ඇතුළු කණ්ඩායමක් එම නිවැසියන් හමුවට ගොස් සාකච්ඡාවක් සිදුකරනු ලැබුවා.

එහිදී ගම්වාසීන් කියා සිටියේ, ව්‍යාපෘති සඳහා පැමිණෙන සමාගම් තම කර්තව්‍ය අවසන් වූ පසු පලායන බවත්, වත්මන් රජයට තමන් ඡන්දය ප්‍රකාශ කර නව ආණ්ඩුවක් පත් කර ගත්තේ එවැනි ක්‍රියා සිදු නොවේ යැයි බලාපොරොත්තුවෙන් නිසා මන්ත්‍රීවරිය වගකීම භාර ගන්නේ නම් අවශ්‍යය අවසර යනු ලබා දෙන බවයි.

ඒ අනුව ගිවිසුම් ගතව අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවට මන්ත්‍රීවරිය විසින් ප්‍රකාශ කල පසු ගම්වාසීන් අදාල අවසරයන් ලබාදෙන ලදි. 

වැඩ බිම් වෙත ප්‍රවේශ මාර්ග සකස් කර ගැනීමට ගම්වාසීන්  අනුමැතිය ලබා නොදුන්නේ නම් බලන ප්‍රදේශයේදී මෙන් දුම්රිය මගින්ම අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගොස් අලුත්තැඩියාවන් සිදුකිරීමේදී දිගු කාලයක් ගතවන බවයි ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා කියා සිටියේ.

එසේම නාවලපිටිය ගම්පළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 36 ක් හානියට පත් වී තිබූ බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ ඒකකය මගින් මේ වන විට ඉන් ස්ථාන 30ක වැඩ අවසන් කර ඇති බවත්, ඉතිරිව ඇති විශාල ප්‍රමාණයෙන් හානියට පත් වූ වැඩ බිම් හයක් පමණක් els ආයතනය සමග එක්ව අලුත්වැඩියා කරන බවයි ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා වැඩිදුරටත් කියා සිටියේ. 

එසේම උලපනේ ගඩොල් බෝක්කුව ප්‍රදේශයේ ඉදිකිරීම් මාර්ග සංවර්ධන අධිකාරියේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ යුතු අතර, මාර්ග සංවර්ධන අධිකාරිය ඒ සඳහා සැලසුම් ලබා දුන්පසු ඉක්මනින්ම කටයුතු ආරම්භ කරන බවයි වැඩි දුරටත් කියා සිටියේ.