(සුජිත් හේවාජුලිගේ )

නුවරඑළියේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ හතළිහකට පමණ  නගරයේ ඉන්ධන පිරවුම්හල්වලින්  ප්‍රමුඛත්වය ලබාදී ඉන්ධන නිකුත් කිරීම සඳහා  විශේෂ බලපත්‍රයක් හෙට (3)  සිට නිකුත් කරන බව  නුවරඑළිය  දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා  ලංකාදීපයට පැවැසීය.

එළවළු සැපයීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින්  තමා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙම වැඩපිළිවෙලට සහාය දැක්වීමට නගරයේ ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් දෙකේ හිමිකරුවන් එකඟවී ඇතැයිද  ප්‍රකාශ කළේය.

මේ අතර   නුවරඑළියෙ වගාවන් සඳහා  ජලයේ ඉසීමට යොදාගන්නා යන්ත්‍ර ක්‍රියාත්මක කරවීමද  ඩීසල් සහ භූමිතෙල් හිඟය නිසා බොහෝ දුරට නතරවී ඇතැයි  වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ  ඒ සඳහා ඉන්ධන සපයා දීමටද තමා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බවයි.

මේ අතර නුවරඑළියේ එළවළු ප්‍රවාහනය ඉන්ධන හිඟය නිසා සියයට 70 කින් පමණ අඩපණවී ඇතැයි සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එළවළු වගා කටයුතු සහ ප්‍රවාහන  කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන ඉන්ධන සපයාදීමට  හැකි ඉක්මනින් කටයුතු කරන්නැයි  තමා කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් සහ රජයේ වගකිවයුතු පුද්ගලයන් රැසකගෙන් ඉල්ලීමක් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

එළවළු එක් දිනකට වඩා තබාගත නොහැකි හෙයින් ඒවා හැකි ඉක්මනින් ප්‍රවාහනය කිරීම අවශ්‍ය වන බව  ඔහු වැඩිදුරටත් කීවේය.