(අංජුල මහික වීරරත්න)

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ අද (23) පැවති රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගිවීමට නියමිතව තිබුණද, අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් විද්‍යුත් තාක්ෂණය ඔස්සේ රාජ්‍ය වෙසක් උත්සවය සමඟ සම්බන්ධ වෙමින් සියලු බෞද්ධ ජනතාව වෙත සුබ වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කළේය.

“අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාව යටකේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය මෙවර පැවැත්වේ. 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සදහා රටවල් 12ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටිම ද විශේෂත්වයකි.

මෙම වැඩසටහනේදී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානය හා විදේශ දූත පිරිස් විසින් තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරිණි. වෙසක් සමරු මුද්දරයක් නිකුත් කිරීම, විහාරස්ථාන සංවර්ධන ආධාර ප්‍රදානය, බුද්ධශාසන අරමුදලේ ආධාර ප්‍රදානය, දහම් පාසල් ප්‍රතිපාදන ලිපි ප්‍රදානය, සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සංකේතාත්මක පොත් කට්ටල ප්‍රදානය, බුදුපුත් මාපිය උපහාර චෙක්පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි