(ඩයනා උදයංගනී)

නව කැබිනට් මණ්ඩලය ලෙස අද දිවුරුම් දුන් 17 දෙනාගෙන් 10 දෙනකුට දේශපාලන පවුල්වල සාමාජිකයන්වීම විශේෂත්වයකි.

මෙවර කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනයක් නොමැතිවීම ද කැපී පෙනේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතා හිටපු අමාත්‍යවරයකු වන පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයකු වන අතර, කම්කරු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විදුර වික්‍රමනායක මහතා හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත්‍රයාය.

නව අධ්‍යාපන ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හිටපු අමාත්‍ය රිචඩ් පතිරණ මහතාගේ පුතු වන අතර, වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හිටපු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතාගේ පුත්‍රයා වේ.

එමෙන්ම නව මහාමාර්ග අමාත්‍ය කනක හේරත් මහතා සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේත්, මහජන ආරක්‍ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හිටපු අමාත්‍ය රෙජී රණතුංග මහතාගේත්, බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේත් පුතුන්ය.

වෙළඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද හිටපු දේශපාලනඥයකු වන එස්.බී සේමසිංහ මහතාගේ පුත්‍රයෙකි.

ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය දිලුම් අමුණුගම මහතා හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ඥාති පුත්‍රයකු වන අතර, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය තේනුක විදානගමගේ මහතා හිටපු පළාත් අමාත්‍යවරයකු වන අනුර විදානගමගේ මහතාගේ සොහොයුරෙකි.