(රෝෂන් තුෂාර)

සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් නැති බැරි ජනතාව නගා සිටුවීමේ හා ගිලන් වූ ස්වාමීන් වහන්සේලාට උපකාර කිරීමේ සමාජ සත්කාර වැඩසටහන් සඳහා  ආධාර එකතුකර මුදල් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පිළිමතලාවේ නලින්ද සැකකරු ලබන 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (27)නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පිළිමතලාව පදිංචි  හෙට්ටිආරච්චිගේ සුදේශ් නලින්ද අල්විස් නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

රහස් පොලීසිය  අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අමාත්‍යය නලින්ද ජයතිස්ස මහතා පසුගිය වසරේ ජුනි මාසයේදී  කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු විදේශගතව සිට ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගත් බවය.

සැකකරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නමින් සමාජ මාධ්‍යයේ පෙනී සිට පුද්ගලයකු ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දී තම පක්ෂය සිදු කරන සමාජ සත්කාරය සඳහා දායක වන ලෙසට ඇරයුම් කර මෙම වංචාව සිදු කර ඇති බවද සඳහන් කළේය.

සැකකරුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

රහස් පොලිසියේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් භාවිතා කරමින්   ආධාර මුදල් එකතු කර වංචාවන් සිදු කරන බවට පැමිණිලි කීපයක්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවද පැවසීය. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.