ගාල්ල රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයේදී සාමාන්‍ය ඇඳුමින් සැරසී රිච්මන්ඩ් විදුහලේ වර්ණයට සමාන හිස්වැස්මක් පැළඳ කඳුළු ගෑස් ගැසූ පුද්ගලයා සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් සාමාජිකයෙකියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

ඔහු රිච්මඩ් විදුහලේ වර්ණයෙන් හිස්වැසුමක් පැළැඳ සිටීමෙන් පක්ෂග්‍රාහී බවක් නොපෙනේදැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් පතිනායක මහතාගෙන් විමැසූ විට ඔහු කීවේ ‘ඒ ගැන මට මොකවත් කියන්න බෑ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් අසා දැනගන්න‘ යනුවෙනි.

කැරලි මර්දන බළ ඇණියේ පොලිස් නිලධරයකු නිල ඇඳුමින් සැරසී සිටින තාක් පමණක් කඳුළු ගෑස් ගැසිය හැකි බව නම හෙළි කිරීමට අකමැතිවූ  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෙක් කීවේය.

නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයන් සිටියදී සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පුද්ගලයකු එක් විදුහලක කැප් තොප්පියක් පැළඳ කඳුළු ගෑස් ගැසීම පොලිසිය පක්ෂග්‍රාහී බව ක්ෂණිවම එහි සිටි අනෙක් පාර්ශ්වයට පෙන්නුම් කිරීමක් බවත්, එය ලොකු කැරැල්ලක බීජයක් වන්නට ඉඩ තිබූ නමුත් ගාල්ලේදී එසේ නොවීම පාසල් දෙකේම වාසනාවක් බවත් එම නිලධරයා සඳහන් කළේය.

තමා දන්නා තරමින් සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධරයකුට කඳුළු ගෑස් ගැසිය හැක්කේ එම පුද්ගලයාගේ ජීවිතයට අනතුරක් ඇති විටක බවත්, ඒ සඳහා ද  උසස් නිලධරයකුගේ නියෝගයක් ලැබිය යුතු බවත් එම නිලධරයා කියයි.