(ඩයනා උදයංගනී)

දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් අද (4) දිනයේත් වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර, සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

උතුරු සහ උතුරුමැද පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවන අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 60 ක පමණ සහ උතුරුමැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් මෙම වැසි සහ සුළංඇතිවන බව ද ඔහු කීය.