(යොහාන් භාසුර)

කටුනායක සිට සියෝල් නගරය බලා ඊයේ (20) රාත්‍රී 8.20 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන්  ගුවන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් එක් අයකු  රාත්‍රියේදී හදිසියේ අසනීප නිසා යානයේ පියාසර කිරීම ප්‍රමාද කිරීමට සිදුවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගුවන් නියමුවන්ගේ විවේකය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින විවිධාකාර වූ රෙගුලාසි හේතුවෙන් අද (21) දිනය වනතෙක් වෙනත් ගුවන් නියමුවෙක් යෙදවීමට නොහැකි වූ බව කියන එම ගුවන් සමාගම එම ගුවන් යානය ප්‍රමාද වීම නිසා ඇති වූ අපහසුතාව පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය කණගාටුව පළකරන බව ද සඳහන් කළේය.

එම අවස්ථාවලදී උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව හැකි උපරිමයෙන් මගීන් දැනුවත් කිරීමටත්, නවාතැන් අවශ්‍ය පුද්ගලයන්ට හෝටල් පහසුකම් සැපයීමටත් ගුවන් සේවය කටයුතු කළ බවත් එම යානයේ යෑමට නියමිතව සිටි පිරිසට මීළඟට පිටත් වන ගුවන් යානයෙන් සියෝල් බලා යැවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව කටයුතු කරන බවත් එම ගුවන් සේවය කියයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ සියෝල් අතර ගුවන් ගමන් පවත්වාගෙන යෑමෙහි ප්‍රධාන අරමුණ කොරියාවේ රැකියාවන් සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් පහසුව සැලසීම බව කියන එම සමාගම ඒ වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව කටයුතු කරන බවත්ය.