
(බී. ජී. චතුරංග)
කහටගස්දිගිලිය දිවුල්වැව පොලිස් වසමට අයත් මීමින්නාවල ප්රදේශයේ, කායන්ගොල්ලෑව වැව් රක්ෂිතය මායිමේ පිහිටි කුඹුරක් ආසන්න කැලෑබද ප්රදේශයක තිබී වන ඇතකුගේ මළ සිරුරක් සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කහටගස්දිගිලිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
වනජීවී නිලධාරීන් එම ස්ථානයට ළඟ වන විටත්, මියගිය මෙම වන ඇතාගේ වම්පස දළය කිසියම් පිරිසක් විසින් කපා ගෙන ගොස් ඇති බවට නිරීක්ෂණය වී තිබේ.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඇතා මියගොස් දැනට දින කිහිපයක් ගතවී ඇති බවයි.
ඇතාගේ වම් දළය පමණක් අතුරුදන් වීම සහ එය කිසියම් තියුණු ආයුධයකින් හෝ ක්රමයකින් කපා ඉවත් කර ඇති ආකාරය පෙනෙන්නට තිබීම නිසා, මෙය දළ ලබා ගැනීමේ අරමුණින් සිදුකළ සැලසුම්සහගත අපරාධයක් විය හැකි යැයි වනජීවී නිලධාරීහු සැක කරති.
මේ අතර, මියගොස් ඇත්තේ ප්රදේශයේ නිතර ගැවසෙන 'ලංකේෂ්වර' නමැති දැවැන්ත හස්තියා දැයි ප්රදේශය තුළ මේ වන විට දැඩි කතාබහක් සහ ආරංචියක් පැතිර යමින් පවතී.
මේ සම්බන්ධයෙන් අප වනජීවී අංශ වලින් කළ විමසමකදී ඔවුන් සඳහන් කළේ, ජීවිතක්ෂයට පත්ව සිටින මෙම හස්තියා 'ලංකේෂ්වර' හස්තියා බවට මෙතෙක් කිසිදු විද්යාත්මක හෝ නිල සාක්ෂියක් තහවුරු කරගෙන නොමැති බවයි.
වන ඇතාගේ මරණයට හේතුව සහ වම් දළය සොරකම් කළ පුද්ගලයන් කවුරුන්දැයි සෙවීම සඳහා මේ වන විට කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය, දිවුල්වැව පොලිසිය සහ ශ්රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව පුළුල් හා වැඩිදුර පරීක්ෂණ මාලාවක් ආරම්භ කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඇතාගේ මරණයට හේතුව අනාවරණය වනු ඇතැයි වනජීවී අංශ නිලධාරියෙකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd