(සුජිත් හේවාජුලිගේ )

නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීම   පාර්ලිමේන්තුවේදී ලබන මස 4 වෙනිදා සිදුකෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ එදින පළමු කටයුත්ත ලෙස නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීම මේ අනුව  සිදුකෙරෙනු ඇත.

නියෝජ්‍ය කතානායක  තනතුර සඳහා  මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉදිරිපත් වුවහොත්  ඡන්ද විමසීමක් එදින පැවැත්වීමට සිදුවන බව පාර්ලිමේන්තු ප්‍රධානිහු  පවසති.

මේ අතර  තමා නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කරන්නේ   ලබන සතියේදී (ලබන 19 සිට 22 දක්වා ) පමණක් බව  රංජිත් සියඹලාපිටිය මහතා  පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ගත් තීරණයත් සමග  රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

පවතින අර්බුදකාරී තත්වය සැලකිල්ලට ගෙන   ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් අනුව සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරය  යළි බාර ගත්තේය.