(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කළ මූලික මිනිස් අයිතිවාසීකමක් වන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හදීසී නීතිය නොමැතිව සීමා කළ නොහැකියි. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩු පක්ෂයට එක විදියකටත් විපක්ෂයට එක විදියකටත් නොව සැමට සමාන විය යුතුයි. පොලීසිය දේශපාලනය නොව නීතිය පමණක් ක්‍රියාත්මක කළ යුතුයැයි  මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණයේදී අද පැවැසීය.

නිරෝධායන නීති උල්ලංඝනය කළැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන්ට එරෙහිව අකුරැස්ස පොලීසිය පැවරූ නඩුවක සැකකරුවන් නිදොස් කොට නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත් හා අජන්ත ගම්මැද්දගේ යන මහත්වරු ඇතුළු සැකකරුවන් 13 දෙනකුට එරෙහිව නීරෝධායන නීති උල්ලංඝනය කිරීම යටතේ අකුරැස්ස පොලීසිය එම නඩුව පවරා තිබුණි.

ඉකුත් වසරේ ජූලි මස 08 වැනි දින ඔවුන් ඇතුළු පාක්ෂිකයන් පිරිසක් ජීවන බර ඉහල යාම,ඔන්ලයින් අධ්‍යාපනය පාසල් දරුවන් සැමට සමසේ නොලැබීම හා පොහොර ප්‍රශ්නය මූලික කර ගෙන රජයට එරෙහිව අකුරැස්සේ දී උද්ඝෝෂණය පවත්වා තිබුණේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගය කඩ කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කල බව පවසා අකුරැස්ස පොලීසිය එහිදී සැකකරුවන් 13 දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර පසුව අධිකරණය වෙත ඉදිරිපත් කලේය.

ඉන් පසුව කිහිප විටක් මෙම නඩුව කැදවන ලද අතර අද (02) එහි තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව සැකකරුවන්ට එරෙහි චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව ප්‍රකාශ කල මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විත්තියේ සාක්ෂී කැදවීමකින් තොරව සැකකරුවන් පිරිස නිදොස් කොට නිදහස් කරන ලදි.