ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයන් නිදහස් කර ගැනීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේය. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යොමුකරමින් තමිල්නාඩු මහ ඇමැතිවරයා එම ඉල්ලීම කර ඇති අතර ඔහු මෙම ලිපිය යොමු කර ඇත්තේ කොළඹදී පැවැති ඉන්දු ලංකා ධීවර සාකච්ඡා අවසන් වීමට පෙර යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. 

ඉන්දීය ධීවරයන් යහපත් ප්‍රවේශයකින් සාකච්ඡාවලට සහභාගී වනවිට ශ්‍රී ලංකා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ උතුරු පළාත් ධීවර අමාත්‍ය බාලසුබ්‍රමනියම් ඩැනිස්වරන් ඉන්දීය ධීවරයන් කුපිත කරන අන්දමේ ප්‍රකාශ කරන බවට ද තමිල්නාඩු මහ ඇමැතිවරයා චෝදනා කර ඇත. එවැනි ප්‍රකාශවලින් පෝක් බොක්කේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට සාම්ප්‍රදායිකව හිමි අයිතිය වළක්වාලන බව ද ඔහු ප්‍රකාශ කර ඇත. 

ධීවරයන් 51 දෙනකු හා ධීවර බෝට්ටු 114ක් ශ්‍රී ලංකා නාවිකා හමුදා අත්අඩංගුවේ පවතින බවත් 2014 වසරේදී අත්අඩංගුවට ගත් බෝට්ටු 80ක් පමණක් 2015 වසරේ නිදහස් කළ බවත් තමිල්නාඩු මහ ඇමැතිවරයා පෙන්වා දී ඇත.