(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොල)

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිත් ජයවීර, හිටපු අමාත්‍යවරු වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල,  අසංක නවරත්න, මහින්ද පතිරණ , සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන්ට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද? යන්න පිළිබඳ තීන්දුව ලබන වර්ෂයේ ජනවාරි 12 වැනිදා ප‍්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.

නඩුවට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් 15 වැනිදා ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳීගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැමිණිල්ල නඩුව විභාගයට ගැනිණි.

කොටුව මහෙස්ත‍්‍රාත්වරයා කරන ලද නිර්දේශය මත අධිකරණයට අපහාස කළ බවට චෝදනා කර ඇත්තේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීශ්වර බණ්ඩාර, අසංක නවරත්න, මහින්ද පතිරණ නමැත්තන්ට එරෙහිවය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කළ ප‍්‍රකාශ සහ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ මගින් අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළ බවට රහස් පොලිසිය විසින් කොටුව මහේස්ත‍්‍රාත්වරයා වෙත කර තිබු පැමිණිල්ලකට අනුව අධිකරණයට අපහාසයක් වී ඇති බව තීරණය කළ කොටුව මහේස්ත‍්‍රාත් පසන් අමරසේන මහතා ඔවුන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා කියා සිටියේ සිය සේවාදායකයා අධිකරණය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් හෝ ක‍්‍රියාවක් කර නොමැති අතර ඔහු විසින් කිසිදු ආකාරයකින් අධිකරණයට අපහාසයක් කර නොමැති බවය. ජනාධිපති නීතිඥවරයා මෙසේද පැවසිය.

මගේ සේවාදායකයා සත්‍යග‍්‍රහයක් පවත්වමින් වෙබ් අඩවියකට කළ ප‍්‍රකාශයක් මෙම පැමිණිල්ලට ඇතුළත් වෙනවා.

අදාළ ප‍්‍රකාශය මගින් සුරේෂ් සලේ නිදහස් කරන්න කියලා ගරු මහේස්ත‍්‍රාත්තුමාට බලපෑමක් කර නෑ. ඔහු කතා කළේ රහස් පොලිසිය සහ ශානි අබේසේකර ගැන පමණයි. සත්‍යග‍්‍රහයක් පවත්වා විරෝධය දක්වමින් ඉල්ලා සිටියේ රැුදවුම් නියෝග මත රදවා සිටින සුරේෂ් සලේ නිදහස් කරන ලෙසයි. ඒ හැර මහේස්ත‍්‍රාත් අධිකරණයට කිසිම බලපෑමක් කර නෑ.

”තවත් යූටියුබ් චැනල් එකකට අවස්ථා කිහිපයකදී කළ ප‍්‍රකාශ මෙම පැමිණිල්ලට ඇතුළත් කර තිබෙනවා. එහිදී මගේ සේවාදායකයා කතා කළේ රහස් පොලිසිය සහ ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කළ රැදවුම් නියෝග මත සුරේෂ් සලේ රදවා තිබීම සම්බන්ධයෙන් එහිදී ඔහු අධිකරණය ගැන කතා කරලා නෑ.