(අංජුල මහික වීරරත්න)

ඉන්දීය රජ‍ය විසින් ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම පොහොර තොගය ලැබුනු වහාම  දින දෙක තුනක් තුළ කෘෂිකර්ම අමා‍ත්‍යාංශයට අයත් ජාතික පොහොර ලේකම් ‍කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම, ලංකා පොහොර සමාගම ඇතුළු ජාලය මගින් ‍ ගොවි ජන මධ්‍යස්ථාන හරහා ඒවා ගොවි ජනතාවට බෙදා හැරීමට නියමිත බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

මෙම යුරියා පොහොර තොගය මිටියක් රුපියල් 10,000ක වැනි මුදලකට ගොවීන් අතට පත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද  ඒ සම්බන්ධව ගොවි ජන නියෝජිතයින් හා නිලධාරීන් සමග කළ සාකච්ඡාවල දී එකඟත්වය පළ කෙරුණු අතර අමාත්‍ය මණ්ඩලය වෙත එම මිල ගණන් ඉදිරිපත් කළ විට ඊට කිසිවෙක් විරුද්ධත්වය පළ නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.